Friday, December 2, 2011

කොළඹ කාක්කා සහ ගමේ කාක්කා

ලංකාවේ සිටින ලොකු කුඩා හැමදෙනාම හොඳින් හඳුනන සුලබ පක්ෂියෙකි කපුටා.
කොළඹ කාක්කා මිනී කාක්කා වැනි කපුටන් වර්ග හැරුණුකොට විද්‍යාත්මකව වර්ගීකරණය කරන ලද කපුටන් වර්ග 2ක් ලංකාවෙන් හමුවේ.
මොවුන් නම් කොළඹ කපුටා ( House Crow - Corvus splendens) සහ ගම් කපුටා (Jungle Crow -Corvus macrorhynchos) යන වර්ග දෙකය.
මෙම වර්ග දෙක අතුරින් ගම් කපුටා නගරය ප්‍රිය නොකරන අතර කොළඹ කපුටා නාගරික පරිසරය ප්‍රිය කරයි.
මේ අතුරින් කොළඹ කාක්කා වඩා සුලබය.
ගම් කපුටා සහ කොළඹ කපුටා පහසුවෙන් වෙන්කර හඳුනාගත හැක,
ගම් කපුටා කොළඹ කපුටාට වඩා විශාල වන අතර උට විශාල හොටයක් ඇත මේ නිසා උගේ විශේෂ නාමය නම් වේ මෙහි "macro"යන්නෙන් විශාල යන අරුතද "rhynchos"යන්නෙන් හොටය යන අරුත ද ලැබේ.
එසේම කොළඹ කපුටා තරමින් කුඩා වන අතර ගෙලස සහ පපු පෙදෙස අළු පැහැයක් ගනී.

කපුටන් සාමාන්‍යයෙන් කලු පාට වන අතර ජාන විකෘති ඇති වූ විට කලාතුරකින් සුදු කපුටන් බිහි වේ.
කෙසේ වුවද කපුටා කලු පාටයැයි කීවද ඌට ඇත්තේ දිළිසෙන නිල් මුසු කලු පාටකි.
(ලංකාවේ කාවන්තිස්ස රජු කලු පාට නිසා කාක වණ්ණ තිස්ස යන නම ලැබී ඇත)
ගම් කපුටා

කොළඹ කපුටා
ලංකාව වැනි ආසියානු රටවල මෙන්ම වෙනත් රට වලද කලු කපුටන් ඇත.
(සමහරක් කපුටන් කලු පාට නැත)
මේ කලු පාට කපුටන් අසුභ සතුන් ලෙස විශ්වාස කරන අතර ලංකාවේ දී කපුටන් සෙනසුරුගේ වාහනය ලෙස හඳුන්වයි.
මේ නිසාසෙනසුරු අපල වලට කපුටු දාන දෙනු ලැබේ.
කෙසේ වෙතත් කපුටා පරිසරයේ තුල්‍යතාවය රැකගැනීමට ඉතා වැදගත් පක්ෂියෙකි.
කසල මෙන්ම අල්ලා ගත හැකි ඕනෑම සතෙක් කෑමටද කපුටා සමත්ය.
විශේෂයෙන්ම ගම් කපුටා ලේනුන්, දෙමලිච්චන්, මීයන්, ගෙම්බන් ඇතුළු කුඩා සතුන් ද බිත්තර සහ කුරුළු පැටවුන් ද ආහාරයට ගනී.
එසේම මියගිය සතුන් සහ ඉදුණු පලතුරුද කපුටාගේ ආහාර වේ.
කුඩා පක්ෂීන්ට පමනක් නොව ගොදුරු පක්ෂීන් වන උකුස්සන්ට සහ රාජාලියන්ට ද කපුටාගෙන් හිරිහැර සිදු වේ,
කොළඹ කපුට සහ ගම් කපුටා යන වර්ග දෙකම මෙවන් පක්ෂීන් පසුපස සාමූහිකව හඹා යයි.
මේ අයුරින් කපුටන් බොහෝ සතුන්ට හිරිහැරයක් වුවද කපුටාට සිටින සොබාවික සතුරන් අඩුය.
මා නිරීක්ෂණය කර ඇති පරිදි නම් මහනුවර අවට නම් කුරුළුගොයා කපුටාගේ බිත්තර සහ පැටවුන් ආහාරයට ගනී.
එසේම සියලුදෙනා දන්න පරිදි ඉන්දියානු කොහා (Indian Koel - Eudynamys scolopaceus )කපුටු කූඩු තුල බිත්තර දමන අතර කොවුල් පැටවුන් කපුටු බිත්තර එළියට දමයි.
ඉන්දියානු කොහා
කෙසේ වුවද කොළබ කපුටාගේ ගහණය විශාල වූවද ගම් කපුටන් ගහණය අප ප්‍රදේශයේ නම් අඩුය.
කපුටන් කෑගසන හඬ අතීතයේ සුලබ වුවද දැන් නම් එය ඇසීමට පවා අපහසුය.
මා පසුගියදාක මාරතුගොඩ ප්‍රදේයට ගිය විට ඒ ප්‍රදේෂයේ ගැමියන් කීවේ එම ප්‍රදේශයේද කපුටන් ඉතා අඩු බවත් ඊට හේතුව දඬු ලේනන් 
(Grizzled Giant Squirrel - 
Ratufa macroura) කපුටන්ගේ බිත්තර ආහාරයට ගැනීමත් යන බවය.
(එසේම දඬු ලේනා මිනිසුන්ටද කරදරයකි, ඌ පොල් ඇඹරැල්ලා පැපොල් රඹුටන් ආදී බෝග වලට හානි කරයි)
මේ අනුව පෙනී යන්නේ පරිසර තුල්‍යතාව රැකගැනීමට දායක වන කපුටා දැන් දැන් ගම්බද පෙදෙස් වලින් අඩුවීගෙන යන බවය.
කෙසේවුවද මිනිසාගෙන් කපුටාට හානි වනවා අඩුය, කපුටා මැරීම නීතියෙන් තහනම් නැත.
එසේ වුවද ඌ ඇති කිරීමද තහනම්ය, ඒ ඌ සොරකමට පුරුදු කළ හැකි නිසාය.
කපුටා ගැන තවත් කතා ගොඩක් ඇත එහෙත් ඒ සියල්ල කීමට උගහටය.
අවසානයෙන් කිව යුත්තේ සොබාවික පරිසරයෙ සිටින සතුන් සියලුදෙනා පරිසරයට ඉතා වැදගත් හෙයින් ඔවුන් සියල්ල රැක ගැනීම වැදගත් වන බවය.
එසේම මට මේ ලිපියෙන් තවත් පණිවිඩයක් දීමට අවශ්‍යය විය,
එනම් හොඳ පරිසර නිරීක්ෂකයෙකු වීමට බොහෝ දුර බැහැර ගෙවාගෙන යාලට හෝ සිංහරාජයට යෑමට පෙර තන් වෙසෙන පරිසරය නිරීක්ෂණය කිරීමේන් බොහෝ වැදගත් හා සුන්දර දේවල් ඉගෙන ගත හැකි බවය.
එහෙයින් එවන් තැන් වලට යෑමට නොහැකි නම් දුක් නොවී අවට පරිසරය නිරීක්ෂණය කර හොඳ පාරිසරික ඇසක් සාදා ගැනීමට උත්සුඅක වන්න.
(මේ මං වගේ මාත් ඔය දෙකටම ගිහින් නෑනෙ :( :))
ගෝඩෝනියා සිලැනිකා විසින් ලියන ලදුව යොමුව පාරිසරික සඟරාවේ පලකරන ලද්දකි.

9 comments:

  1. ey kaputan maranna tahanam ?

    ReplyDelete
  2. බොහොම වටින ලිපියක්. මා ජීවත් වන මහනුවරින් සැතපුම් 10 දුරින් වූ ගම් ප්‍රදේශයේද කපුටු ගහනය ඉතා අඩුය.මෙම ප්‍රදේශයයේ දඩු ලේනන් නැති යුගයේදීද කපුටන් සිටියේ අඩුවෙන් බව මා නිරීක්ෂණය කර ඇත. මට තව ගැටලුවක් ඇත එනම් ගම් කපුටන් සහ නගර කපුටන් අතර අන්තර් අභිජනනයක් සිදුවේද.එසේ වේනම් ඒ සතුන්ගේ ලක්ෂණ කවරේද?

    ReplyDelete
  3. ඕස්ට්‍රේලියාවෙත් ඉන්නව කාක්කො වගේම කුරුල්ලො ජාතියක්, කෑ ගහන විධිය නං කාක්කන්ටත් වඩා අප්‍රසන්නයි

    ReplyDelete
  4. ඔබා කියන්නේ'Australian Magpie' කියන කුරුල්ලෝ ගැන. එයාලත් කාක්කෝ වගේ. හපොයි මෙයාලා මිනිස්සුන්ට කොටනවා. කෑගහන්නෙත් 'කාක්, කාක් ' කියලා නෙමේ.

    ඉතින් එයලාලා බලන්ට ඇවිත් යන්ටකෝ...පින්තූරුත් ගත්තෑකි...:D

    ReplyDelete
  5. සල්ලි තියනව නම් එනවනෙ අක්කෙ :P
    මට සල්ලි තියනව නම් ඉස්සල්ලම යන්නෙ ඉන්දියාවට :)
    මම කුරුල්ලා බැලුවා ලස්සනයිනෙ මූ :)
    ස්තූතියි

    ReplyDelete
  6. හැමදාම වගේ අදත් මල්ලිගෙන් වැදගත් ලිපියක්‌.වාසනාවට කපුටො නම් මෙහෙ තාම ඉන්නවා.හැබැයි,ඉස්‌සර නම් දුඹුරු පාටට හුරු උනුත් හිටිය.දැන් නැහැ.

    උන්ට කෑම ටිකක්‌ දාන්ට ඕන උඩට විසිකරල.(ඔය කඩල ඇට,පාන් කෑලි එහෙම)කන අපූරුව බලන්ට.

    ReplyDelete
  7. මම ඉන්න රටෙත් කාක්කෝ ඉන්නවා..උනුත් කෑ ගහන්නේ "කාක් කාක්" කියලා...

    ReplyDelete
  8. 2 ඇනෝ වෙමි. මම ගලගෙදර ප්‍රදේශයේ ඉන්නේ.

    ReplyDelete
  9. ගීත් අයියා:
    ස්තූතියි...
    දුඹුරු කපුටෙක් දැක්කොත් ෆොටෝ එකක් අරන් එවන්න...

    නොදුටු ලොවක් අයියා:
    ඔයාගේ වාසභූමිය මොකද්ද?

    ලොකු පුතා අයියා:
    පොඩ්ඩක් හොයල කියන්නකො.
    කපුටට දැණ් ප්‍රශන වැඩි,
    ගෝලීය උණුසුම වැඩි නිසා කොහා හැමදාම බිත්තර දානවා.
    හොයල කියන්නකො...
    ස්තූතියි.

    ගලගෙදර ඇනෝ:
    හඳුනා ගැනීම සතුටක්.

    ReplyDelete