Sunday, December 11, 2011

ගසක් කැපූ මම තවත් තැවෙනවා ඒ ගැන නිති සිතමින්......


ඇසිදිසි මානය
ඇහැළ ගහ
අපේ ගේ ඉදිරිපිට ඇහැළ ගසක්‌ තිබිණි. එය සිටුවනු ලැබුයේ ඉතා කුඩා පැළයක්‌ව තිබූ සන්ධියේදී ය. ගෙවී ගිය කාලයත් සමග ඇහැළ පැළය මහා ගසක්‌ බවට පත්විය.
ළමා විය හා තරුණ විය ඉක්‌ම වූ හැඩි දැඩි පුරුෂයෙකු පරිද්දෙන් ඇහැළ ගහ බලා සිටියදී මහා වෘක්‍ෂයක්‌ බවට පත් විය.
ඇහැළ මාසය ළංවන විට අපූරු කසාවත් පැහැයකින් යුත්,මල් වැල් ගස පුරා කඩා හැලෙන්නට විය. ඇහැළ ගහ පිදූ මල් කෙතරම් ද යත්, මල් වැටී බැබලෙන මිදුල පිසදා නොදමන්නැයි ද මම ගෙදර වැසියන්ගෙන් ඉල්ලා සිටියෙමි. ගසින් වැටුණු මල් මිදුලේ වැතිරී තිබුණේ ගෙදර මිදුලට පා තබන්නන්ට පලසක්‌ පරිද්දෙනි.
එපමණක්‌ ද නොවේ. අතු පතර විහිදවූ මහා ඇහැළ ගසින් ගෙදර මුළු වහළම හෙවණ විය. අපේ ඉඩම කුඩා එකකි. එබැවින් විසල් ඇහැළ ගසට ගෙයත් ඉඩමෙන් විශාල කොටසකුත් අයිතිකර ගැනීමේ හැකියාවක්‌ තිබිණි.
වසරේ කවර නියං කලකදී වුවද ඇහැල ගහේ හෙවනැල්ල නිසා අපට නියඟේ අපහසුව දැනුණේ නැත.
එපමණක්‌ ද නොවේ.
ඇහැළ ගහ පුරා දළඹුවෝ සිටියහ. උන් අල්ලා කෑමට ගනු පිණිස නොයෙක්‌ වර්ගයේ කුරුල්ලෝ අපේ ඉඩම් කැබැල්ලට ආහ. ඒ අතරින් කහ කුරුල්ලා මට මහත් ආශ්වාදයක්‌ සැපයීය.
අපේ ගෙදරට යන එන අමුත්තෝ මේ මහා ඇහැළ ගහ දෙස බැලුවා නොව නිතැතින් ම ඔවුන්ගේ ඇස්‌ එදෙසට යෑවුණාහ.
"මේ ගහ නං මෙතෙන්ට හරි නෑ."
වැඩිහිටි ඥාතීන්ගෙන් කෙනකු ගස දෙස බලමින් කියයි.
ඔහුගේ අදහස්‌ දැක්‌වීම එතැනින් නවතින්නේ නැත.
"මේ ගහ නිසා වෙන මොකවත් පැළයක්‌ හැදෙන්නෙ නෑ නොව" වැඩිහිටි ඥාතියා නැවත එසේ කියයි.
"මේ ගහ හින්ද මේ කෙහෙල් ගස්‌ හැදෙන්නෙත් නෑ."
"මොකටද මෙච්චර ලොකු ගහක්‌."
ඔවුහු එසේ කියන්නේ ඉඩමේ ප්‍රමාණයත් සලකාගෙනය. පොඩි ඉඩමකට මෙපමණ විශාල ගසක්‌ අවශ්‍ය නැතැයි යන්න ඔවුන්ගේ අදහස විය.
සාමාන්‍යයෙන් ගෙදරට එන අමුත්තන් වූ (බොහෝ විට ගුරුවරු. ඔවුන්ගේ බිරින්දැවරු, කඩ හිමියන්, ගස්‌ කොළන් පිළිබඳ විශේෂඥ මහල්ලන් සහ නෑදැයන්) මේ සෑම දෙනාගේම අදහස මේ මහා විශාල ඇහැළ ගස කපා දැමීම කළ යුතුම බවය.
"වෙන කිසිම පැළයක්‌ ගහක්‌ හැදෙන්නෙ නෑ මේ ගහ හින්ද."
අනිත් අතට මෙසේ තර්ක කරන පිරිසක්‌ ද වූහ.
"ඇහැළ ගහක කඳෙන් ඇති වැඩකුත් නෑ. ඒ තරම් වටිනා කියන ලීයකුත් නෙමෙයි. කොස්‌ නං ජනෙල් උළුවහු දොරවල් වලටවත් ගත හැකි. දෙල් නං රීප්ප වලටවත් ගතහැකි. අඹ නං ලෑලිවලටවත් ගත හැකි. ඇහැළ කඳකින් මොනව කරන්නද?"
ඒ තවත් කෙනෙක්‌ පෑ අදහසය. මෙලෙස ඇහැළ ගහට එරෙහි චෝදනා බොහෝ විය.
අන්තිමේදී ඇහැළ ගහ කපන්නට අපි තීරණය කළෙමු.
ගස්‌ කපන්නා උදේ පැමිණියේය. ඔහු අත පොරවක්‌ තිබිණි. ගහේ ඉහළම අතු තිබෙන තැනට නැගුණු ඔහු ඉහළ මඩලේ අතු අත් පොරොවෙන් කපා දැම්මේය. ඒ අතු කඩා වැටුණේ පහළ තිබූ කෙසෙල් ගස්‌වල පිති මතටය.
ගස්‌ කපන්නා මුලින් ගස කපන්නට පොරොන්දු වූයේ පහසු මුදලකටය.
නමුත් ගස කැපීම ලෙහෙසි පහසු කරුණක්‌ නොවීය. වරෙක ඔහු ලොකු පොරව මුවහත් තියා ගෙන එනු පිණිස ළඟම තිබෙන කම්හලට ගියේය. දෙවනුව කෙටි පොරොව මුවහත් කරගන්නට පොරව ගලක්‌ හරහා උරච්චි කළේය.
එසේ බොහෝ මහන්සි වූ ගසෙහි සියලු අතු ඉති කපා සිද බිඳ දැමුවද. ගස කැපීම අවසන් කරන්නට ගස්‌ කපන්නාට පුළුවන් වූයේ නැත.
අතු ඉති එකින් එක සිඳ බිඳ හමාර කළායින් පසුව ද නොසිඳෙමි· තවමත් ප්‍රාණය ඇත්තෙමි යි" කියන්නාක්‌ සේ දැවැන්ත කඳ ස්‌ථම්භයක්‌ සේ නොසැලී සිටිනු දක්‌නට ලැබිණි.
ගස්‌ කපන්නා ගස මුල වටේට පොරෝ පහර දෙමින් සෑහෙන වෙහෙසක්‌ දැරුවද ගස මඳකට හෝ සැලෙන බවක්‌ නොපෙනිණි.
ගස්‌ කපන්නා ගෙදර ගොස්‌ වඩා හොඳ පොරොවක්‌ ගෙන ආවේය. දැන් ගස මුල වටා කැපේ. ගස්‌ කපන්නා වරින්වර බිම හිඳගෙන මහන්සි අරී.
ඔහු මුලින්ම සිතුවේ මේ ගස කැපීම ලෙහෙසි වැඩක්‌ විදියටය. නමුත් දැන් දැන් එය අමාරු වැඩකි.
කපා හෙලූ විශාල අතු ඉති නිසා මිදුල දැන් කුඩා කැලයක්‌ සේ දිස්‌වේ.
තවත් දීර්ඝ වේලාවක්‌ දහදිය හෙළමින් ඇල්දිය බොමින් ගස මුල කැපූ ගස්‌ කපන්නා ගසෙහි මුදුන් අත්තට කඹයක්‌ දමා අදින්නට වූයේය.
එහෙත් ගස නොවේ හෙලවෙන්නේ. ගස්‌ කපන්නා යළිදු මුලට පොරෝ පහර දෙන්නට විය.
ඉක්‌බිති යටින් කඹය ගස මුදුනේ අත්තක රඳවා අදින්නට විය. ගස මුල සිහින් හඬක්‌ නැංවීය. ගස්‌ කපන්නාගේ මුවෙහි මඳ හසරැල්ලක්‌ නැගිනි.
ඔහු වඩාත් වේගයෙන් කඹය සොලව සොලවා අදින්නට විය. ජර ජර හඬින් ගස කෙඳිරි ගෑවේය. ඊළඟ මොහොතේ දඩාස්‌ හඬින් ඇහැල ගස මිදුල හරහා ඇද වැඩුණේය.
ගස්‌ කපන්නා විශාල බරකින් නිදහස්‌ වූවා සේ වැටුණු කඳ මත හරිබරි ගැසී හිඳගෙන හති අරින්නට වූවේය. ඇහැළ ගස දැන් ඩයිනෝසිරයෙකු සේ මිදුල හරහා වැතිර සිටී. ස්‌වල්ප මොහොතක්‌ යත්ම නිරාවරණ අහස්‌ තලයෙන් කඩා හැලෙන චණ්‌ඩ අව් රශ්මිය මිදුලටද, මිදුලෙන් ඉස්‌තෝප්පුවට ද, වැටී එතැනින් ගෙතුළට ද ඇදී එන්නට වූවේය.
ඇහැල පැළය ඇහැළ ගසක්‌ බවට පත් වූයේ අවුරුදු හත අටක්‌ ඇවෑමෙන් ය. දිය, වතුර, පොහොර ඈ කිසිත් අපෙන් නොඉල්ලූ ඇහැළ ගස සොබාදහම දුන් වැස්‌සෙන් ද අව්වෙන් ද ජවය ලබා නිස්‌සරණාධ්‍යාශයෙන් හැදී වැඩී උස්‌ මහත් වූවෙකි.
එමතුදු නොවේ. කිසිවක්‌ නොපතන දූ පුතුන් සාදා සතුටු වන මවක පියකු පරිද්දෙන්, මේ ඇහැළ ගහ ද අපෙන් කිසිවක්‌ නොලබා ඉතා දිගු කලක්‌ අපට සිහිල් හෙවණ දුන්නේය.
ඇහැළ මහ ළංවන විට ලඹ දෙන කහ පැහැ මල් දමින් සැරසී ගෙන ඕ පෑ සුන්දරතාව ඉතා මනරම් විය. අපේ කුඩා ඉඩම් කැබැල්ලට ඕ ආභරණයක්‌ වූවාය.
ගස කැපූ විට එහි සෙවණැල්ල අතුරුදන් වෙයි.
වැඩියෙන්ම පහළට ඇද වැටෙන්නේ උසම ගස්‌ ය.
මහා ඕක්‌ ගස්‌ හැදෙන්නෙ කුඩා ඕක්‌ ගෙඩියෙනි.
ඇහැල ගසෙහි අගය දැනෙන්නට වූයේ ගස කැපූ පසුය. චණ්‌ඩ හිරු තාපය දැනෙන විටය. මහ වැස්‌සක හිරිකඩ දැනෙන විටය.
දැන් මිදුල තොවිලයක්‌ නටා අවසන් කළ තැනක්‌ වැන්න. කෝපයෙන් පහළට කඩා වැටුණු ඇහැළ අතු වැදීමෙන් කෙසෙල් ගස්‌ කිහිපයක්‌ ම බිඳී වැටී ඇත. කුඩා පැළ නොහැදෙන්නේ මේ මහ ගස නිසා යෑයි කීවද මහ ගසේ අතු කඩා වැටීමේදී අර කුඩා පැළ සියල්ලම මරණයට පත්ව ඇත.
හිස සිඳ ලූ ක්‌වන්ධයක්‌ බඳු ඇහැළ ගහ බිම වැතිරී අනේ නුඹ තරම් මෝඩයකු මෙලොව ඇත්දැයි සිනාපාන්නක්‌ සේ මදෙස බලා සිටී.
මිදුල කාන්තාරයක්‌ මෙනි
චණ්‌ඩ හිරු රැස්‌ ඉස්‌තෝප්පුව දවමින් සිටී


චන්ද්‍රසිරි දොඩන්ගොඩ
http://www.divaina.com/2011/11/06/nimna03.html
මෙය දුටු මට දිවයින නොකියවන්නන්ට කියවන්නට පළ කරන්න සිත්විය...

6 comments:

  1. අපේ අසල්වැසි ඉඩමේ වසර සිය ගානක් පැරණි සියඹලා ගසට ගිය සතියේ අත්වුවේද ඔය ඉරණමයි.වයස අව්රුදු 90 කට ආසන්න මගේ මිත්තනිය පැවසුවේ ඇය ඉතා තරුණ වියේදීත් සියඹලා ගස ඉතා විශාල එකක් වූ බවය.එකල එම ගස පාමුල ප්‍රංස ජාතික වැවිලි කරුවෙකුගේ විවේක නිවසක් තිබු බව ඇය පවසයි. එම විදේශිකයා තම මහලු මව සමග එම නිවසේ ජීවත් වූ බව ඇය පැවසුවාය.එම සුවිසල් ගසින් කිසිදු හානියක් කිසිවෙකුටත් නොවිණි.කුරුල්ලන්ට,. දඬු ලේනන්ට, රිලවුන්ට ආදී බොහෝ ජීවීන්ට මේ ගස රැකවරණය සහ පෝෂණය ලබාදුනි.දැන් ඒ සියල්ල අවසන්ය.මගේ අසල්වැසි මිතුරු පාපතරයගෙන් මේ ගස කැපීමට හේතුව ඇසුවෙමි.ඔහුට ඒ සම්බන්දව පැහැදිලි අදහසක් නොවුනි.ඔහුට එයින් මුදල්මය ලාභයක්ද නොලැබුණි.මා සිතන්නේ ඒ ගස තිබීම නිසා යම් ආකාරයක කාලකන්නි පෙනුමක් තම වටපිටාවට ඇතිවී ඇතිබව මගේ අසල්වැසියා සිතන්නට ඇත යන්නයි. එසේ නොමැතිව එම ගසින් ඔහුට කිසිදා අවහිරයක් නොවුණු බව මම දනිමි.ඔහු කුඩා කොලුවෙකු කල ඔන්චිලි පැද්දේද ඒ සියඹලා ගසේ බැඳී කඹ පොටකින් බව එකල ගැටයෙක් වූ මම දුටුවෙමි. දැන් සියල්ල අවසන්ය.මහා ගස තිබු තැන වියලී ගිය අතු ඉති කීපයක් දක්නට ඇත.දැන් නම් ඒ වටපිටාව නියම කාලකන්නි පෙනුමක් අත්කරගෙන ඇත.මගේ අසල්වැසි මිතුරාටත් එසේ දැනේදැයි නොදනිමි.

    ReplyDelete
  2. මුලින්ම දැමු මගේ කොමෙන්ටුව අතුරුදහන් වෙලා. එය ඔබේ බ්ලොග් අඩවියේ පලවී තිබුණු බව දුටුවෙමි. එසේ වුවේ ඇයිදැයි නොදනිමි.දීර්ග කොමෙන්ටුවක් බැවින් නැවත ලිවීමටත් අපහසුය

    ReplyDelete
  3. ඇහැල ගහ කිව්වම මතක් උනේ...අපේ ගෙවල් ලග හිටියා ගස් දොස්තර කෙනෙක්..එයා ලොකු ගස් නිදි කරලා ඕනෙම තැනක පැල කරනවා උගුල්ලගෙන ගිහිල්ලා..පත ගස් තියෙනව මිදුලේ ලොකු මුල් එක්ක .ටික දවසකින් ගිහිල්ලා වෙන තැනක හිටවන්න ලෑස්ති කරපුවා..මුලින් පුදුම හිතුනත් පස්සේ අපිට ඒක ගානක් නෑ ඒ දවස්වල...ඒ මිදුලේ එක එක ලොකු ගස් ඉන්නව නිදියගෙන....දැංනං එයා නෑ...

    ReplyDelete
  4. ජීවිතය ගැන වෙනත් විදියක පණිවිඩයකුත් මේ ඇහල ගහෙන් තේරෙනවා. ලස්සන කතාවක්. ලංකාවේ පත්තර බැලීමට නොලැබෙන අපිට මෙය කියවීමට ලබාදීම ගැන පින්.

    ReplyDelete
  5. නොදුටු ලොවක් අයියා...
    ස්තූතියි..
    ඕකට කියන්නෙ රූට් බෝල් කොරනව කියලා...
    මාත් හරි ආසයි ඔය වැඩේ කරන්න,,,
    ඒත් සෑහෙන වියදමක් යනවා...

    කුමාරිහාමි අක්කා සහ ඔබ්සර්වර් මාමා:
    දෙන්නටම ස්තූතියි...
    ආය මෙහෙම එවුවා හම්බුනොත් දාන්නම් ,,,
    පවු තමා ගහ...
    අදත් මම සියඹලා ගහක් දැක්ක,
    ඒක මතක් වුනේ අද,
    ගුඩ්ෂෙඩ් එකේ ගහ.

    ReplyDelete