Wednesday, September 28, 2011

ජාදුවක් කළ දුකක්...


මට තිබුණ ෆෝන් එක පරණයි.
ඉතින් මට අළුත් එකක් ගන්ට ඕන වුනා.
තව ඕන වුනා ඩුවල් සිම් එකක් ගන්න, වෙන අනං මනං ඕන නෑ.


ඉතින් පටන් ගත්තා හොයන්ට,
චීන එව්වා නම් කොමත් අතෑරියා,
අන්තිමට ඉතුරු වුනේ සැම්සුන්ග්, නොකියා,
මේ දෙකෙනුත් මං කැමති වැඩියෙන් නොකියා.
ඉති බලපුවාම ඩුවල් සිම් ෆෝන් තුනක් තියනවා.
මං තීරණය කොරා ගණං අඩුම එක ගන්න.
ගාණ රුපියල් 5330.
ඒත් පස්සෙ මං හොයාන හොයාන යනකොට හම්බුනා SAR කියලා එකක්.


මොකද්ද මේ  කියන්නෙ?


මේක ගැන මම දැක්කෙ තවත් බ්ලොග් එකක මගෙ මතකෙ හැටියට.
ඊට පස්සෙ මමත් හෙවුවා මේ ගැන.
ඔන්න ඉතින් හොයනකොට පෙණුනා මේ අඩු ෆෝන් හොයාගන අමාරුයි කියලා.
මේකට හේතු තමා
1.ගොඩක් ඒවා පරණ මාදිලි හොයාගන්න නෑ
2.එක්කො ඒ ෆෝන් ගනන්
3.එක්කො ලංකාවෙ නෑ


ඒ වගේම අර බලපු ෆෝන් එකේ බලපුවම තවත් ඔළුව අවුල් වුනා.
මඤ්ඤං වෙන තත්වෙට පත් වුනා.
මොකද ඒකෙ තියනව දාහක් ප්‍රශ්න,
බැට්‍රි ඉක්මන්ට බහිනවලු, සිග්නල් අඩුයිලු.
වැඩේ දවස්  ගානක් කල් ගියා.
අන්තිමට අද වෙනකොට ෆෝන් එකක් ගන්ටම වෙන තත්වෙට ආව.
ඉතින් අන්තිම වතාවට රිවීව් බලනකොට කියවන්න හම්බුනා මේ ඩුව සිම් ෆෝන් වලින් වැඩියෙන් රේඩියෙෂන් බලපෑම තියනව කියලා.
බොලේ හැබෑට ඇත්තනෙ ජාල දෙකකට සෙට් වෙනකොට එකකට වඩා වැඩිනෙ.
කොහොමිං හරි අදත් ඇවිදල ඇවිදලා
බැරිම තැන ඕන මගුලක් වෙන්ට කියල ගත්ත 2800 පොඩිම ෆෝන් එකක්.
කැඩුණ ෆෝන් එක හදලා අනික් සිම් එක දානව.




ඉතින් කියන්න ඕන වුනේ අපිත් මේ පරිසරයේ වැදගත් පුරුක්.
අකාලේ නහින්න බෑ,
(ඒත් මොනව කරත් ෆෝන් නිසා වත්මන් පරපුර වැඩිපුර ලෙඩ වෙනව වෙනවමයි )
ඒ නිසා අඩුවෙන් ෆෝන් පාවිච්චි කරන්න බලන්න,


  • කෝල් වලට වඩා ටෙක්ස්ට් යවන එකත් ඇඟට ගුණයි.
  • සිග්නල් අඩු තැන් වලට වඩා වැඩි තැන් හොඳයි
  • SAR අඩු ෆෝන් ගන්න එක හොඳයි
  • ලැන්ඩ් ෆෝන් බාවිතය වඩා හොඳයි (ඒත් ඉතින් මල් කඩන්න, මැසේජ් යවන්න මෙක අවුල්)
  • කෙලින්ම කනේ ගහගෙන ඉන්නෙ නැතුව හෑන්ඩ් ෆ්‍රී එකක් බාවිතා කොරනව නම් හොඳයි.
  • මේ වගේ ඒවා ගොඩක් තියනවා.


මං මේ ටික දැන් ගත්තෙ මෙතනින්.
පොඩ්ඩක් හොයල බලන්න තව.
මෙන්න හිංගලෙන්ම වීඩියෝ එකක්

තව කියන්න දෙයක් තියනවා
මේ ෆෝන් බැටරි ඩයලොග් එකට ගන්නවා,
ප්‍රතිචක්‍රීකරණෙට,
පුළුවන් නම් මේ වගේ  Eකුණු (Electronic Waste) ඒ වගේ තැනකට දීලා නිසි ලෙස බැහැර කරනව නම් පරිසරේටත් හිතකරයි.
ඉතින් සොබාසුමිතුරෙක් වශයෙන් සොබාදහමේ අපූරු නිමැවුමක් වන ඔබත් රැකගන්න එක ඔබේම යුතුකමක්. 






ජා.දු: ජංගම දුක; දු.ක = දුර කතනය

Tuesday, September 27, 2011

අත්දැකීමෙන් කියන්නෙ.....



අනේ ඇත්තට මං වගේ පොරක්.
මටත් හිතාගන්න බෑ මං ගැන.
වෙලාවකට මං ගැනම දුකයි ඇයි මං මෙහෙම ඉන්නෙ කියලා.


කොහොම වුනත් මට පේන හැටියට මට මේ වැඩේ තව කොච්චරකල් කරන්ට හම්බෙයිද දන්නෙ නෑ.
කරපු ටික කාලෙ ගැන සෑහෙන තෘප්තිමත් වෙනවා.
ඒකට ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.

අපි ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයි,
ඒ කාලෙ ඇතුලත අපි කොයිතරම් නම් දේවල් කරනවද?
පොඩිම කාලෙ කෝම්පිට්ටුවක් හදලා ෆුල් ආතල් එකේ හිටියට පස්සෙ ඒක මදි වුනාම,
සෙල්ලම් ගෙවල් හදන්නෙ අපිමයි.
ඊට පස්සෙ එක එක දේවල් කරනවා අපේ මේ නොනවතින අතෘප්තිකර හැඟීම තෘප්තියෙන් පුරවන්න.
මෙව්ව කියල වැඩක් නෑනෙ,
ඔයාල ආවෙ මේව කියවන්න නෙවේනෙ.
හ්ම්ම්...



අද මම ගස් හදන්න ගියා ඉස්කෝලෙ,
ඒක හොඳ අත්දැකීමක්.


ගහක් හදනවා කියන්නෙ කොච්චර වටින දෙයක්ද කියලා මේකෙන් කියවන්න.
ඉතින් මට අවශ්‍යය වුනේ ඔයාලටත් ගස් ටිකක් හදන්න කියන්න.
මේ වගේ දේවල් වලට ගියාම සමාජෙ ගැටෙන්න වෙනවා,
මොකද අපිට වෙලාවකට කතාකරල උදවුවක් ඉල්ලගන්න වෙන්න පුළුවන් කිසිදා නොදැකපු කෙනෙක්ගෙන්.
දෙයක් කියන්න වෙන්න පුළුවන් කිසිදා නොදැකපු කෙනෙක්ට.

අපිට මේ දේවල් වැදගත් වෙනවා පරිසරයට ආදරේ කරන කෙනෙක් විදිහට.
මොකද පරිසරයට හානි වෙනවා නම් හරි,
යම් කෙනෙක්ට හානි වෙනවා නම් හරි අපිට පුළුවන් වෙන්න ඕන ඒක ඒ පුද්ගලයට කියන්න.


උදා: 
මෙහෙම ගහක කවුරු හරි කොට කොට ඉන්නව නම් ඒ මනුස්සයව නවත්තන්ට අපිට පුළුවන් වෙන්න ඕන.
නැත්තං අපි ඒවට කටවහගෙන ඉන්ට ඉන්ට ඒ දේවල් වැඩි වෙන එකමයි වෙන්නෙ.
මං වුනත් මේ දේවල් තවම පුරුදු වෙන කෙනෙක්,වැඩේ අමාරුයි..
උත්සාහ කරලා බලන්න.
මිනිස්සු හැමෝම එක වගේ නෑ,
සමහරු අහයි,
සමහරු අහන්න්නෙ නැති වෙයි.
ඒත් උත්සහ කරන්න.
ඒත් තෙරෙනව නම් කෙනෙක්ට කොච්චර කීවත් වැඩක් නෑ කියලා.
අතෑරලා දාන්න.
ඒකෙන් උකටලී වෙන්ට එපා.
එක්කනෙක් වෙනස් කරන්න පුළුවන් නම්,
ඒකම ලොකු දෙයක්, ලොකු සතුටක්.
අත්දැකීමෙන් කියන්නෙ.


28th Sept: ඊයෙයි අදයි මං ගොඩක් සතුටින් හිටියේ,
ඒ ගස් හදපු නිසා, ඒ අතර ලබපු අත්දැකීමුත් ගොඩක් ලස්සනයි.
මේ ෆොටෝ බලන්න.





Monday, September 26, 2011

හොඳ නම් රැල්ලෙ ගියත් මොකද?


අපි එදිනදා ජීවිතයේදී ගොඩක් දේවල් භාවිතා කරනවා.
ඇඳුම් පැළදුම්, යාන වාහන, ඇඳ පුටු වගේ නොයෙකුත් දේවල්.
අපි මේ හැමදෙයක්ම අවශ්‍යය ප්‍රමාණයට විතරක් පාවිච්චි කරන්න බලන්න ඕන.
පරිසරයට යම් හානියක් වෙන දෙයක් නම් අපි ඒක පාවිච්චි කරන එක අඩු කරන්න ඕන පුළුවන් තරම්.
ඒකට විවිධ ක්‍රම යොදා ගන්න පුළුවන්.


අපි බලමු උදාහරණ ටිකක්.
ඔයාට යන්න ඕන වෙනව ගෙදර ඉඳන් බස් හෝල්ට් එකක් දුරින් තියන කඩේකට.
ඉතින් ඔයාට පුළුවන් ඒකට බස් එකේ යන්න.
ඒත් හදිසියක් නැත්නම් ඔයාට පුළුවන් පයින් යන්න.
එහෙමත් නැත්තන් පාපැදියක යන්න.
ඒත් ගොඩක් හදිසි වෙලාවක නම්, ඔයාට පුළුවන් හෙලිකොප්ටරේක හරි ගිහින් වැඩේ කරගන්න.
මෙතනදි ඔයාලා දක්ෂ වෙන්ට ඕන ඒ ඒ අවස්ථාවට අනුව ගැලපෙන දේ කරන්න.


ගම් වගේ පළාතක නම් පයින් යන එක සනීපදායක දෙයක් ඒත් නගරයක දූවිලි වැඩි කොටසක යනව නම් මේ දේ අමාරුවෙන් කරන්න යන්න එපා.


ඒ වගේම අපිට පුළුවන් ගොඩනැගිල්ලක ඉහලට යනකොට විදුලි සෝපානයේ යන එක අඩු කරලා,
පඩිපෙළෙන් යන්න.


අපිට පොලිතීන් මළු දෙකකින් කරන වැඩේ එකකින් කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනව,
ඊටත් වඩා වටිනව ඒ දෙයම පං මලකින් කරගන්න පුළුවන් නම්.
අපි පං මල්ලක් ගත්තොත් ඒක පරිසරයටත් හිතකරයි,
ඒ නිර්මාණ කරන අහිංසක මිනිස්සුන්ටත් හිතකරයි.
ඒ වගේ දේවල් වලට අපිට පුළුවන් මිනිස්සු අතරෙ රැල්ලක් ඇති කරන්න.
මේක එච්චර අමාරු දෙයක් නෙවේ,
එක්කනෙක්ට පුළුවන් තවත් එක්කනෙක් මේ රැල්ලට එකතු කරන්න.


මේ වගේ දේවල් කිරීමෙන් අපි නොදැනුවත්වම සොබා සුමිතුරෝ වෙනවා.
ඒ වගේම මේවගේ සතුටුදායක අතුරුවිපාක හැටියට
අපේ සෞක්‍යයත් ආරක්ෂා වෙනවා.
දවස තිස්සෙ පිටි මුට්ටෙ වගේ මේසයක් ගාව ඉඳගෙන ඉන්න කෙනා පඩිපෙළේ යෑමෙන් හරි ව්‍යයාමයක් ලබාගන්නවා.


ඉතින් ඒ ඒ තැනට ගැලපෙන විදිහට නුව මෙහෙයවාගන්න මේ කියපු දේවල් උපකාර වේවි කියලා මං හිතනවා.
කියවවුවට ඔයාට ස්තූතියි.



පින්තූරයේ කතාව:
මේ කඩේ තියන්නෙ නුවර ඔරලෝසු කණුව පැත්තෙ ඉඳන් ගුඩ්ෂෙඩ් එක පැත්තට යන පාර අයිනෙ.
මේ වගේ කඩ දෙකක් තියනවා.
ඒකෙන් ගුඩ්ෂෙඩ් එක පැත්තට වෙන්ට තියන කඩේ මේක.
මේතන ගොඩක් මේ වගේ ඒවා තියනවා.
මම ළඟදි දැක්කා පොල්කටු වලින් හදපු පර්ස් එකක්.
ඒකෙ ලස්සනට හෙලො කිටී කියන ලාංඡනේ ගහල තිබුනා
(යන්ත්‍රානුසාරෙන් මයෙ හිතේ ).
ඉතින් මට තේරුනේ මේකයි.
ව්‍යාපාරිකයෙක් වුනත් හොඳට හිතල බලල අළුත් දෙයක් කරනව නම්, අළුත් නිර්මානයක් කරනව නම් දියුනු වෙන්න අමාරු නෑ.
සමහර විට ඒ පිටරටින් ගෙනාපු පර්ස් එකත් එහෙම පොඩි ව්‍යාපාරිකයෙක් පොඩිවට පටන් ගත් එකක් වෙන්න ඇති.


තවදෙයක් අපතේ යන පොල්කටුවෙන් වගේම වෙනත් දේවලිනුත් පරිසර හිතකාමි දෙයක් කරන්න පුළුවන්.
උදාහරණෙකට මට මතකයි කාලයක් මේ පැත්තෙ කොල්ලො පරණ ඩෙනිම් අරගෙන බෑග් මැහුව.
මගෙ යාළුවෙක් ගාව තාම තියනව එකක්,
පුළුවන් වුනොත් මං ෆොටෝ එකක් දාන්නම්.
කවුරුත් හිතන් නෑ ඒක එයා හදපු එකක් කියලා.
සුරේකා සුරේකා හම්බුනා හම්බුනා ඒත් මල්ලම නෙවේ ඒකෙ කෑල්ලක්.



Sunday, September 25, 2011

උදෑසන හරිම සිරියාවන්තයි....




"ඇසෙන්නෙ කා කා හඬ සෑම පැත්තෙන්
නැගෙවු කියන්නා වැනි දැන්ම නින්දෙන්
දොරෙන් අඩක් මේ ඇරියාම එන්නෙ
සිහිල් සුළං අයුබෝවන් කියා මෙන්"


මට මේ කවිය කියලා දුන්නෙ අපෙ අත්තම්මා,
මේක අපෙ සිංහල බස පොබයූ කුමරතුංග මුණිදාස මහා පඬිවරයගෙ.
උදෑසන සුන්දරත්වය වචනයට නගා ඇති අපූරුව බලන්න.
කාර්යබහුල ජීවිත් එක්ක පොරබදන අපිට සොබාව ගැන හිතන්න අමතක වෙලා.
අද උදේ හරිම සුන්දරයිමට අතීතය මතක් වුනා උදේම නැගිටලා ඉස්කෝලෙ ගිය හැටි.
ඒ දවස් වලත් උදෑසන හරිම සිරියාවන්තයි.
මේ කවිය ලියන කලෙ වෙනකොට නම් පරිසරය ගොඩක් සුන්දර වෙන්ට ඇති.
කොහොම වුනත් මේ කවියාවත් අපෙ අත්තම්මමවත් නෑ දැන්,
කියන්න දුකයි කපුටෙක් කෑගහන සද්දේ ඇහුනෙත් නෑ මට.
ගෝලිය උෂ්ණත්වය වැඩි වෙලා නිසා කපුටගෙ හතුර කොහා නම් කෑ ගහනව,
ඒකත් හරි ලස්සනයි.
ඒත් පරිසරයට වැදගත් කපුටා ගැන මට දුකයි.
ඒක වෙනම කතාවක්.

උදේම අපෙ ගෙවල අවට ඉන්න සිංදුකාරයා,
ටිකල්ගේ නිල් මැසිමාරාවා පුංචි ලස්සන සිංදුවක් කීවා.
එයා හරි දක්ෂයි සිංදු කියන්න.
ඒ වගේම මම නම නොදන්න කුරුල්ලෙක් (හෝ මැඩියෙක්) ඉන්නවා,
ඌත් කෑගහනවා, ඒත් ඌව කවදාවත් පෙනුනේ නෑ මට,
අම්ම කියන්නෙ ඌ නියං කොකා කියලා.
ඉස්සර ඉස්කෝලෙ යනකොට උදේම ලෑස්ති වෙනකොට,
මේ අයගෙ සුන්දර ගීත හන්න ලැබුනා,
හූනෙක් ඈතින් කෑගහනවා ඇහුණා
ඒත් ඒක අසුබයි කියලා මට හිතුනෙ නෑ.
සිරියාවන්ත උදෑසන සුන්දර කරන්න ඒ මිශ්‍රණයත් වැදගත්.

ඉස්කෝලෙ යනකොට ඉතින් බස් හෝල්ට් එකේ ඉන්න කොට උදෑසන ආකාසෙ  පාට වෙනස් වෙන හැටි, ඒ පාටවලින් සුන්දර වුන වලාකුළු කැරලි ම්ට පෙනෙන කොට, මං ආසවෙන් බලාගෙන හිටියා ඒ දිහා.
ඒ පාටවල් කදාසියකට ගන්න මං කොච්චර උත්සාහ කරත් පාට පෙට්ටියෙ තිබුණ පාට ඒවට ළං කරන්නවත් බෑ.
උදේට මේ ඉඳලා මේ බලනකොට එක පාරටම එළිය වැඩි වෙලා,
ඒක හරි පුදුමයි.
බස් එකට නැගලා ටික දුරක් යනකොට ඈතින් පේනවා හුන්නස්ගිරිය
(මං ගොඩක් ආස කන්දක්)
,
එතන තමා මේ පාටවල උල්පත.
ඉර හෙමින් හෙමින් පායාගෙන එනවා.
ඉස්කෝලෙට ගියාම තවත් ලස්සනයි,
ගිනි බෝලයක් වගෙ ඉර පායන හැටි පුදුම ලස්සනයි.
මම තවම දැකල නෑ ඒ වගේ ලස්සනක්.
කොහොම වුනත් දැන් නම් මේ ලස්සන මට දකින්න බෑ,
ඒ සුන්දර පසු තලයම වසාගෙන බාල තත්වයෙ අන්තර්ජාතික පාසලක් හදලා,

මං මේවා දැක්කෙ පහවසරෙදි සහ ඊට ඉහලදි,
සතුටුයි මතක් කරන්නත්.
(දැන් පහලව වසරෙ විතරනෙ මං ඉන්නෙ)
සොබාසුමිතුරු වෙන්න නම් පරිසරයට ආදරය කරන්න ඕන,
ඒකට පරිසරය රස විඳින්නඑහි අගය දැනගන්න ඕන,
ඒ සඳහා මෙය ඔබට අත්වැලක් වේවා!

(මේක ඉවර වෙන්න කිට්ටුව හරි කපුටෙක් කෑගහනව ඇසීම සතුටක්)


Saturday, September 24, 2011

පැණි බීම Vs කුරුම්බා


පොඩි පන්ති වල අච්චු පොතක තිබුණා මතකද අගුලෙන් ගිහින්
වෑවර බොන කතාවක ගං වතුර කාලෙ.
ඒක හරි ලස්සන කතාව,
ඉතින් මේ එන්නෙ වෑවර ගැන කියන්න.
දැන ගොඩක අය පුරුදු වෙලා තියනවා මේ පැණි බීම වලට,
තිබහක් ඇති වුනාම පැණි බීම බොනවා ඉක්මනට.
ඒත් දන්නවද මේවගෙන් කොච්චර නම්
අහිතකර ප්‍රති විපාක තියනවද කියලා?




මේවගේ තියන ප්‍රධානම සංඝටකේ තමා කාබනීකෘත ජලය.
මේක කිසිම ගුණයක් තියන දෙයක් නෙවේ කාබන් ඩයොක්සයිඩ් වතුරෙ දිය කරල තමා මේක හදාගන්නෙ.
අනිත් සංඝටක ටික ඉතින් බෝතලයක් දැක්කොත් කියවල බලන්න.
සීනි, රසකාරක,පොස්පොරික් ඇසිඩ්, වගේ ඒවා තමා තියන්නෙ.

කොහොම වුනත මේවා බීවම ගොඩක් ලෙඩ රෝග වලට පාර කැපෙනවා.
දත් දිරා යනවා,
අස්ථි දුර්වල වෙනවා,
තව මේකෙ තියන කැෆේන් නිසා හෘද ස්පන්දනය අක්‍රමවත් වෙනවා,
පොස්පොරික් ඇසිඩ් නිසා
ආමාශයේ තියන අම්ල ගතිය අඩුවෙන නිසා ආහාර ජීර්ණයට බාධා වෙනවා
(දුබල ආම්ලික එකකින් අම්ල ගතිය අඩු වෙන්නෙ කොහොමද කියලා ආර්ට් කොමස් කරපු අය සයන්ස් කරපු කෙනෙක්ගෙන් අහගන්න)
ඒත් අපි ආදරෙයි කියන කට්ටිය ධන තණ්හාවට කියනව කෝක් නැතුව කෑම එපා කියලා.
තව දෙයක් මේව එන ප්ලාස්ටික් බෝතලේ නිසා පරිසර හානිය වෙනවා වගේම මේවගෙ වතුර දාගෙන ආපහු ආපහු පාවිච්චි කරාමත් ලෙඩ හැදෙනවා. 


මං මේ උදාහරණ දැම්මේ ඔයාලට වැඩියෙන් දැනෙන්න,
තව ගොඩක් කතන්දර තියනවා මේවට අදාල.
මේ ටික ගත්තෙ මෙතනින් සහ විකිපීඩියාවෙන්.


එපා කියනවා වගෙම මේවට ආදේශක දෙන්නත් එපායෙ,
ආදේශක තමා මේ තියන්නෙ,
කුරුම්බා, තැඹිලි, කොළකැඳ, රණවරා, වගේ දේවල්,
ඒ වගේම කිරිත් හොඳයි,
කිරි වලත් තාම හොඳ තත්වේ තියන එක තමා හයිලන්ඩ් එක (ඒත් පැකට් එක එච්චර රස නෑ,ඒකෙ ස්ට්‍රෝබෙරි එක රසයි )
කොත්මලෙත් හොඳයි,
කොහොම වුනත් මේ පැකට් වලින් පරිසර දූෂණේ වෙන නිසා වීදුරු බෝතලේ තියන හයිලන්ඩ් කිරි එක හොඳයි.


කොහොම වුනත් අපෙ රටේ දැන් තියන තත්වෙ හැටියට පොල්ගස්, තැඹිලි ගස් අඩුයිනෙ.
පොලුත් රටින් ගෙනාවනෙ.
ඒ වගෙම දැන් ඉන්න ගොඩක් මිනිස්සුන්ට අතු නැති ගස් නගින්ට බෑ (කියන්න දුකයි මාත් ඒ ගොඩේ)
ඒ නිසා කුරුම්බයක්වත් කඩන්න කවුරුත් නෑ, හිටියත් ගාන වැඩියි.
කොහොම වුනත් මේ මුදලාලි කීවේ මේවා හොඳට විකිණෙනවා කියලා.
ඒත් ඉතින් කඩපු කුරුම්බෙවත් බටයක් නැතුව බොන්ට බැරි අයත් ඉන්න නිසා මුදලාලි බට ටිකකුත් තියන් හිටියා,


ෆොටෝ එක හොඳට බැලුවොත් පෙනෙයි එල්ලල තියන මල්ල බිත්තියේ,
ඒත් ඉතින් ඒකත් සාධාරණයි,
ඇඟේ ඉහිරුනොත්.

රෙදි බෑග් කතාව - 2 සහ අපෙ අත්තම්මා
































රෙදි බෑග් කතාව ලියනකොට මං ඒකෙ අග කීවනෙ රෙදි බෑග් එකක් දාගත්තු කෙල්ලෙක්ගෙ ඡායාරූපයක් ඕන කියලා,
ඒත් ඉතින් එකෙ කෙල්ලෙක්වත් එහෙම එකක් දෙන්න කැමති වුනේ නෑ,
සමහරු දෙන්නම් කියලා කීවා ඒත් දුන්නේ නෑ,
මං ඉතින් කීවා සමහරුන්ට නම් අනේ නිකන් බොරු කතා කියන්න එපා කියල.
(සමහර කෙල්ලො මාත් එක්ක මේ ෆොටෝ එක ගන්න ආකාරය ගැන සාකඡ්චා කරා )
කොහොම වුනත් මං අද පාරේ යනකොට රෙදි බෑග් විකුණන මුදලාලි මහත්තයෙක් හම්බුනා.
මං එකක් අරන් පස්සෙ තව එකක් ගත්ත.
එකසිය පනහයි (150/=).
ඉන්නෙ නුවර ටොරින්ටන් එක ගාව, රෙදි සේල් තියන තැන,
වැඩිය සුකුරුත්තම් නම් නෑ,
ශිප් එක දාපු එක රුපියල් දෙසීයයි(200/=).
සම්පූර්ණෙන්ම කපු.
ඔන්න අද හෙට නුවර යනව නම් එකක් ගන්න.
මෙහෙම එකක් දැක්ක කියලත් කියන්න.
කෙල්ලෙක් ඉන්නව නම් රෙදි බෑග් එකක් අරන් දෙන්න.
කොල්ලෙක් ඉන්නව නම් කොල්ලට කියන්න මේකක් ඕනමයි කියලා..
අන්තිමට මං ගෙදර ඇවිල්ල අපෙ අත්තම්මත් එක්ක රෙදි බෑග් එකේ ෆොටෝ එකක් ගත්ත.
බලන්න ලස්සනද කියලා...


Friday, September 23, 2011

කරන්න පුළුවන් නම් කොච්චර හොඳද නේද?


සමහර දේවල් තියනවා කරන්න ටිකක් අමාරුයි,
ඒත් කරොත් හොඳයි,
කියලවත් අපි කියනවා,
සමහර ඒවා තියනවා ටිකක් හරි කරන්ට තියනව නම් හොඳයි කියලා,
කොහොම වුනත් මේකෙ තේරුම කරන්න බෑ කියන එක නෙවේ නේද?
උත්සාහ කරලා බලමු ඒ වගේ දෙයකට...
අපි යාළුවෙක්ගේ ගෙදර යනවා කියල හිතමු,
මොනවද අරගෙන යන්නෙ?
ගෙදරට කවුරුහරි ආවම මොනවද ඉක්මනට කඩේට ගිහින් උස්සගෙන එන්නෙ?
එක්කො බිස්කට්, එක්කො කේක්,


ඒත් මේ එකක්වත් අපේ කෑමද?
නෑ, ඔක්කොම පිටරටින් ආපුව,
මේවා සෞඛ්‍යට හිතකරද?
නෑ, ඔක්කොම සීනි, පිටි , කිරි පිටි දාල හදපුවා,
දියවැඩියාවට, කොලෙස්ටරෝල් වලට, තව ලෙඩ ගොඩකට පාර කපනවා මේවා.
ඒත් එක්කම මේවත් එක්ක එනවා හොඳ පොලිතීන් ගොඩක්,
ඉතින් මේවා එකතු වෙන්නෙ අපෙ ගෙවතු වලට තමා,


ඒත් අපිට පුළුවන් ඒ වෙනුවට ගමේ කඩෙන් හැලපයක්, ලැවරියක් ගෙනත් කන්න,
එතකොට අපෙ ළඟපාත ඉන්න මනුස්සයටත් හොඳක් වෙනවා,
අපිටත් හොඳයි,
නැත්තං අපි කරන්නෙ ලොකු සමාගම් පෝසත් කරල අපි මෝඩයො වෙන එක.


දැන් ඇති කෙලින්ම කියනව නම් මං මේ කියන්නේ අපි අපේ දේශීය ආහාර වලට සොබා සුමිතුරු ආහාර වලට පුරුදු විය යුතුයි කියලා.

අපිට ලෝකෙම හදන්න බැරි වුනත් අපෙ ගෙදර හදන්න පුළුවන්නෙ.
දරුවො ඉන්න අයට පුළුවන් තමන්ගෙ දරුවව මේකට හුරු කරන්න,
එතකොට ළමයින්ගෙන්ම අනාගතේ බැනුම් අහන්න වෙන එකෙන් බේරෙන්න පුළුවන්.
යාළුවොන්ට එකතු වෙලා මේ දේ කරන්න පුළුවන්,
"මචං අපෙ ගෙදර එනවා නම් බිස්කට් එපා කෙහෙල් ඇවරියක් අරන් වරෙන්"
කියලා.
ඉතින් තව තව දේවල් හිතල බලන්න.



(අන්තවාදි වෙන්ටත් එපා ඉතින් දුන්නොත් විසි කරන්ටයැ,
තව ඉතින් මේවා තේරෙන අයට විතරක් තේරෙන විදිහට තේරුම් කරලා කරන්න නැත්තං හිතයි විකාර කියලා 
ආ තව මේක ලියනකොට බ්ලොගය 600ක් බලලා සතුටුයි මට.
(23-09-11 ,22:19 )
බැලූ ඔබ සැමට ස්තූතියි.
බලා වැඩක් ගත්ත අයට තවත් ස්තූතියි.
බලල අදහස් දුන්න අයට තවත් ස්තූතියි.
තව මේ ෆොටෝ එක පස්සෙ රිප්ලේස් කරන්න ඕන. ) .