Sunday, January 1, 2012

තවත් එක් සත්‍ය කතාවක්... කලින් ලිපියට සම්බන්ධයි.

රත්න සිරි පින්නපොල කියන දරුවා උපත ලැබුවේ ආනමඩුව කියන දුෂ්කර ප්‍රදේශයක් දුප්පත් පවුලක.
මේ දරුවගෙ දෙමවුපියන් දුප්පත් වුනත් ගුණ යහපත් උදවිය,
වැව ළඟ තිබිලා කාටවත් අයිති නැති පොල් ගෙඩියක් ගෙනාවත් ඒක හොරකම් කරපු එකක් ද කියල සැර කරල අහන්න දරුවගෙ තාත්තා මැලි වුනේ නෑ.
අම්මත් ඒ වගේම යහපත් කාන්තාවක්.
ඔහුගේ පාසලේ ගුරුවරියක් දවසක කියනව ඔහුට පොඩි කාලෙදිම
"පුතේ ඔයා දුප්පත්නෙ, ඒ නිසා හොඳට ඉගෙන ගන්න" කියල.
ඉතින් මේ දරුව බාධක මැද්දෙ වුනත් ඉගෙනගෙන කැළණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා.
එතනින්  විද්‍යා  උපාධිධාරියෙක් විදිහට පිට වෙනකොට ඔහුට තව ඉහළට ඉගෙන ගන්න ඕන කමක් තිබුනෙ නෑ,
මොකද ඔහුගේ පවුලට උදවු කළ යුත්තේ ඔහු නිසා.
ඉතින් ඔහු  විශ්වවිද්‍යාල සිසුවෙක්ව සිටියදීම ආරම්භ කළ උපකාරක පන්ති කිරීම දිගටම කරනවා.
ඔහු භෞතික විද්‍යාව උපාකාරක පන්ති කර එය සාර්ථක වුවත් ඔහු අවසානයෙන් නතරවෙන්නෙ උසස්පෙළ රසායන විද්‍යා ගුරුවරයෙක් ලෙස.
ඔහු ඉතා කැපවීමෙන් උගැන්වීමේ යෙදෙනවා,
ශිෂ්‍යයන්ගේ පන්ති කාඩ් එකට වහල් නොවී සල්ලි ලැබෙනව නම් මට මොකද කියල දරු දැරියන් වැරදි කරනවා බල බල ඉන්නෙ නෑ.
ඔවුන්ව දඬුවමින් හෝ හික්මවනවා.
ඔවුන්ට පිරිසිදු දැනුම සරළ ලෙස කියල දෙන්නෙ ඒවා ජීවිත අත්දැකීම් සහ සිදුවීම අනුසාරයෙන් පැහැදිළි කල.

ඔහුගේ දරුවන් මේ ගුරුවරයාගේ නිසි මග පෙන්වීමත් කැපවීමෙන් ඉගැන්වීමත් නිසා උසස් ප්‍රතිඵල ලබාගන්නවා.
මේ නිසා ඔහුගේ පන්ති වලට සිසුන් රැසක් සහභාගි වෙනවා.
මෙලෙස ඔහු ඉතා සාර්ථක ගුරුවරයෙක් බවට පත්වෙනවා.
යම් කලෙක ඔහුට පිරිසිදු බුදු දහම කළණ මිතුරන් වෙතින් අසන්නට ලැබෙනවා.
ඔහු ඒ ධර්මයේ හැසිරී ඒ ධර්මයත් සිය දරුවන්ට ලබා දෙන්නෙ කරුණාවෙන්මයි.
මෙලෙස සිසු දරු දැරියන් රසායන විද්‍යා දැනුමෙන් ජීවිතය ගැන අවවාදයන්ගෙන් සහ දහමින් පෝෂණය වෙනවා.
දිනෙන් දින ඔහුගේ සිසු සිසුවියන් ගණන වැඩි වෙනවා.
බොහෝ පිරිසක් උසස් පෙල සමත් වී ඉහළටම යනවා.

ඒ සිසුන් ධර්මයේ හැසිරෙමින් හොඳ දරුවන් ලෙස ඉගෙන ගන්නවා.
සමහරු ඔහුගෙන් ඇරඹි දහම් මගේ ගමන නිම කරන්නේ පැවිදි වීමට තරම් ජීවිත වාසනාවන්ත කරගෙනයි.



ඔහු දරුවන්ව පින් වැඩ කිරීමටත් හොඳින් ඉගෙනීමටත් යොමු කරනවා.
සියළු ගුරුවරුන්ට ගරු කරමින් ඉගෙන ගන්න ඔහු උගන්වනවා.
දෙමවුපියන්ට සළකන හැටිත් ඔහු කියා දෙනවා,
එසේම ඔහුත් දරුවන් සමග එක්ව මහා පින්කම් කරනවා.
මෙලෙස දහස් ගණන් වූ සිසු සිසුවියන්ට නැණ නුවන පාදන ගුරු පියෙකු ලෙස සිටින ඔහුට එක් දිනෙක උදෑසන පන්තියට එන විට කවි පෙලක් හමුවෙනවා,
ඉන් පසු දිගටම ඔහුට මේ නිසදැස් හමු වෙනවා...
මේ සියළු නිමැවුම් වල ඔහු හඳුන්වන්නේ "අප්පච්චි" ලෙසින්.
ඒ ඔහුගේම සිසු දියණියක් ඔහු ඇමතූ හැටි.
ඇත්තෙන්ම ඔහු තරුණ දූ පුතුන් රැසකගේ අප්පච්චී වී මහා නුගයක් වී ඔවුන්ට සෙවන සලසනවා.
ඒ ගී පද වැල් පසුව ගීත බවට පෙරලෙනවා,
මේ සියළු ගී ලියවුනේ කලින් කී නදීකා විජේසිංහ නම් සිසුවිය අතින්.
මේ ගීත ඉතාම හරවත්.
ඒවයින් කියවෙන්නෙ මේ ගුරු පියාණන් සිසු දරු දැරියන් ජීවිතය ජයගැනීමට මෙහෙයවන්නට වෙහෙසෙන අයුරුත්, ඔහු  ඒ සදහා විඳින දුක් ගැහැටත්.

මේ සත්‍ය කතාවක්,
එක් ගුරුවරයෙක් ගැන මෙතරම් සෙනෙහෙන් ලි‍යැවුන වෙනත් ගීත එකතුවක් නැති තරම්.
මේ මගේ රසායන විද්‍යා උපකාරක පන්තියේ ගුරුවරයා වූ ආර් එස් පින්නපොල ගුරු පියාණන්ගේ කතාවයි.
ඔහුගේ මේ සද් ක්‍රියාවන්ට අනේක විධ මඩ ගැසීම් සිදු වුනා.
මෝඩ දරුවන්ද ඔහුට අපහාස කරා,
වෙනත් ගුරුවරුන් ද ඔහුට අපහාස කරා,
එහෙත් ඔහු කිසිදු ගුරුවරයෙක් එක්ක ගැටෙන්න ගියේ නෑ,
අඩු තරමින් ඔහු ක්ලාස් වලට පෝස්ටර් වත් ගහන්නෙ නැති කෙනෙක්.
ඒ අනික් ගුරුවරුන් සමග ගැටීම අනවශ්‍යය නිසා,
ඔහු පන්ති වල හිස් කතා ඕපාදූප හෝ පම්පෝරි කියා අපිව සතුටු කරේ නෑ,
ඔහු විෂයට අමතරව කීවේ අපට වැදගත් දේ පමණයි එක්කෝ ඒ ධර්මය නැත්නම් අපේ ජීවිත සරු කරන ඔවදන්.
එහෙත් මාත් ඇතුළුව බොහෝ දෙනාට අසන්නට ලැබෙන්නේ ඔහු බණ කියා කාලය කන බවත් සිලබස් එක ඉවර නොකරන බවත්,
එහෙත් පන්ති ගිය අපට පෙනී ගියේ මේ දෙකම බොරු බවයි,
ඔහු අපට අවශ්‍ය දැනුම කිසිදු අඩුවක් නැතුව ලබා දුන්නා.
අසනීප වී සිටින විට පවා වේදනාව නොතකා අප වෙනුවෙන් වෙහෙසුනා.
ඔහු තමන් දරුවන්ගෙන් අයකරන මුදල් මත්පැනට හෝ දුරාචාරයට හෝ විනෝදයට වැය කරේ නෑ,
වැය කලේ පිනට දහමටයි.
ඔහු ගැන කීමට තවත් ඉඩ මදි මට.
එහෙයින් නවතමි මේ ලිපිය මෙතැනින්.
මේ ලිපිය ලිවීමට සිත් වූයේ මම අද හදිසියේ ඔහු ගැන සොයන විට අන්තර්ජාලයේ පවා ඔහු ගැන කියා තිබූ අසත්‍ය කතා නිසා.
ඔහුට අසත්‍යය චෝදනා එල්ල කරල තිබුණා ඉතාම කැත විදිහට...
මමත් ඔහු නිසා විභාගය සමත් වූ කෙනෙක්,
නැත්නම් මමත් ගුරු වරුන්ට "නික් නේම්" දාන අපහාස කරන කෙනෙක්.
ඒත් සර් අපිව නිසි මගට යොමු කළා ඒ නිසා අපි සියළු ගුරුවරුන්ට ගරු කරමින් ඉගෙන ගන්න ඉගෙන ගත්තා.
මගේ දෙවනි වර උසස් පෙළ විභාගයට මම රිවිෂන් ගියේ නෑ,
මාස කිහිපයක් සර්ගේ පන්තියකට ගියා (ඒක රිවිෂන් නෙවේ)
ඒ හැර මම මුල් වර ඔහුගෙන් උගත් දෑ යොදා ගත්තා.
මම කියන්නේ මට හමු වූ හොඳම ගුරුවරය ඔහුයි කියා.
ඕනෑම කෙනෙක්ට මා කියන්නේ ඔහුගේ පන්ති යන්න කියායි.
සර්ට තවත් බොහෝ සිසු සිසුවියන්ගේ නෙත් පෑදීමට චිරජීවනය සහ ශක්තිය ධෛර්යය ලැබේවා.
"බොහෝ දුර
පියමං කරන සද,
දකින්නට හගින්නට
ඇවැසිවූ මනුෂ්‍යත්වය සොයා
පඩු පැහැගත් වලා අතරින්,
නික්මීගත් සරා සද ඔහුමවිය.........
" ආදරනීය අප්පච්චී "

මම ඔහු ඇමතුවෙමි..........
කිසිදිනෙක නාදුනන මා,
ඔහුට දියනියක්ම වීය.........
සුවහසක් දරුවන්ගේ
දුක්ඛ දෝමනස්සයන් හමුවේ
ඔහුගේ දෑසට නැගුනු කදුලුවල
මනුෂ්‍යත්වයේ පැහැය මම දුටිමි.
දහසක් ගැරහුම් මැද නොසැලී,
නොනැවතී ඉදිරියටගිය,
ජීවමාන බුද්ධත්වයේ ප්‍රතිමූර්තිය
එහුම වීය..........
මෙහි ගැයෙන සෑම පදයකම ඇත්තේ
" ඒ සැබෑ මිනිසාගේ කථාවයි "

එහි රචකයා මා ද,
නැතහොත් ඔහුගේ
අපරිමාණ මනුෂ්‍යත්වයදැයි
අද ද මම නොදනිමි........."
මේ පද වැල් අප්පච්චී ගීත තැටියෙන්.
උපුටා ගත්තේ Anything & Everything blog අඩවියෙන්.
මට ඔබෙන් අවසරගන්න බැරි වුනාට සමාවෙන්න.
Source
මේ ගීත ඇල්බමය ගැන මීට කලින් ලිපියෙ තියනවා.
එතනින් මේක බාගන්න.
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

8 comments:

  1. මේ වගේ ගුරුවරු පහල වෙන්නේ දැයේ පිනට....

    ReplyDelete
  2. ඇඳුම ආයෙ මාරුවෙලා. ලස්සනයි. ඒත් මම කැමති කොල පාටට...:D:D:D

    ඔබේ ගුරුවරයා නම් පිදිය යුතු කෙනෙක් මිහිරි. ඒ වගේ අය පහල වෙන්නේ කලාතුරකින්.ඔහුට දීර්ඝායුෂ ලැබේවා....!!!

    ReplyDelete
  3. පින්නපොල ගුරුතුමා ගැන ලියූ ලිපියක් බ්ලොග් අවකාශය තුල දැක්කමයි..බොහෝ කාලයක් ඔහුගෙන් ඉගෙන නොගත්ත් ඒ මකතය අසීමිතයි..
    ගුරු පියාණෙනි, ඔබට දිගාසිරි..

    ස්තුතිය ලිපියට මිහිරි..පින්නපොල සර් බොහො දෙනෙකුගේ ඇස් පෑදූ ගුරු පියෙක්..

    ReplyDelete
  4. සුබ නව වසරක් වේවා...!!
    ඇස්දෙක පාදපු ගුරුපියෙක් ගැන ලස්සන සටහනක්.

    අලුත් ඇඳුම ගැන මටත් කියන්න තියෙන්නේ "මේක ඔයාට ගැලපෙන්නේ නැහැ" කියල තමයි..

    ReplyDelete
  5. මට මේකට කොමෙන්ට් කරන්න බෑ. මේක කියවපුවහම මට අඬෙනවා... අපේ ආදරණීය අප්පච්චී තුනුරුවණේ ආශිර්වාදය සෑම තැන්හීම ලැබේවා!!!

    ReplyDelete
  6. මගෙ ඉස්කෝලෙත් මෙහෙම සර් කෙනෙක් ඉන්නව. සර් ගෙ පොඩිකාලෙ විස්තර නම් දන්නෙ නෑ.

    නමුත් එතුමා දැඩි බෞද්ධයෙක්. එවැනි කටයුතු වලදි පෙරමුණේම සිටිනවා

    එතුමාගේ නිවසට අාසන්න පන්සලක රසායන විදයා පන්තියක් නොමිලේ පවත්වනවා! මේ අැරුනම වෙන කොහෙවත් පන්තියක් කරන බව මම අහල නෑ.

    අපට මොනතරං අප්සට් මිනිස්සු පෙනෙන්න හිටියත්, යහපත් මිනිස්සුත් ලෝකෙ ඉන්නවා :)

    ReplyDelete
  7. සතුටුයි අපි ඉන්න ප්‍රදේශයට ටිකක්‌ ලගින් මෙවැනි උත්තමයෙකු පහල වීම.අපි මිනිස්‌සුන්ගෙ හොඳ පතුරවන්ට ඕන ඔවුන් ජීවත්ව සිටින කාලයෙදියි.

    ඔබ වාසනාවන්තයි එවැනි අයව හමුවිමට හැකිවිම.

    ReplyDelete
  8. පින්නපොල සර්ගෙන් ඉගෙන ගන්න ලැබීම මම මේ ජීවිතයේදි ලබපු විශාල භාග්‍යයක්!

    ReplyDelete