Monday, October 17, 2011

මා මළ පසු සිහිවන්නට සොබා සුමිතුරෙක් වෙනු මැන....



අද උදේ මා විශ්වවිද්‍යාලයට යන්න පෙර, හදිසියේ බ්ලොග් එකට ආවා.
එතකොට මම කතන්දර මාමගෙ අලුත් ලිපියක් දැක එය බලන්න ගියා,
එහිදීයි මට පෙනුණේ ගැජට් එකක් හරහා "ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි".

මම හිතුවා මේක  කාගේ හරි මරණයක් ගැන වග.
පින්තූරෙන් පෙණුනා එය කතන්දර ශූරීන්ගේ පියාණන් හෝ වෙනත් කාගෙ හරි පියාණන් කෙනෙක් ගැණ කියලා.
අන්තිමට බැලුවම කතන්දර මාමගෙ අප්පච්චි ගැන.
මට සංවේගයක් ඉපදුනා අනේ මටත් මෙහෙම වෙනවා නොවේද කියලා..
මට කලිනුත් එහෙම හිතිලා තියනවා.


කකා ගේ පියානන්ට අජරාමර නිවන් සුව අත්වෙවා ..?
මට මතක හැටියට මම බ්ලොග් ගැන දැනගත්ත මුල්ම අවස්ථාවද කොහෙද ෆේස්බුක් හරහා ඉලංදාරියාගෙ මළගම ප්‍රචාරය වුන අවස්ථාව.මේත් මම වගේ ඉලංදාරියෙක්.මට මතකයි අපෙ ගෙවල් වලට ළඟම කුඩා නගරෙත් ඉලංදාරියා ගැන අවමංගල දැන්වීම් ගසා තිබුණා.මම ඉලංදාරියා ගැන දැන ගත්තෙ ඊට පස්සෙයි.ඒත් මම ඔහු ගැන දැනන් හිටියෙ නෑ.මට දුක හිතුනා ඒත් කියෙවුවට පස්සෙ. මමත් ඒ හදපු ගෲප් එකක කමෙන්ට් කරා.
ඇත්තට මට කියන්න ඕන වුනේ මේකයි,
ඉලංදාරියා හිතුවද දන්නේ නෑ කතන්දර මාමගේ පියාණන්ගේ මරණය වගේම තමන්ගේ මරණය ගැනත් කමෙන්ට් වැටෙයි කියලා.
මට හිතුනා "ගෝඩෝනියාගේ මරණයත් මේ අයුරින්ම විය හැක.
එවිට මාගේද බ්ලොගයේ කවුරුන් හෝ කමෙන්ට් කරණු ඇත" කියලා.
ජීවිතයේ කොයි මොහොතක මරණය අප කරා ඒවිදැයි අපි දන්නෙ නෑ.
අපි නිතරම සිටිය යුත්තේ මරණයට සූදානමින්.
මරුවත් එක්ක අපි ගිවිසුම් ගහල නෑනේ.

ඒ ගැන ඔබත් සිහි කරන්න.
දැන් මම කෙටියෙන් කියනවා මට අවැසි දේ.
මට දන්නා අදුරන බ්ලොග් කරුවන් ගොඩක් නෑ.
ඒත් ඉන්න අයගෙන් සහ මේක කියවන මගෙ මිතුරන්ගෙන් මම පොඩි ඉල්ලීම් ටිකක් කරනවා.
මං ඔයාලට කලින් මැරුණොත් කල යුතු දේවල්.
මම විස්තර දන්න අය ගැන සහ අනික් අයට පොදුවේ දාන්නම්.

පොදුවේ
1.සියළු දෙනාම පන්සල් බිමක දෙළුම් පැලයක් හිටවන්න.
මේ පැලය බොහෝ ශ්‍රාවක සංඝ පිරිසකට උපකාර කරාවි.
කොහේ හරි තැනක කුඩා හෝ කල්පවතින ගහක් පැල කරන්න, මාව සිහිවෙන්න.

2.පුළුවන් නම් ඔයාලා පිරිසිදු ආකාරයට සෞඛ‍යාරක්ෂිත දානයක් දෙන්න එක ස්වාමීන් වහන්සේ නමකට.
හිතන්න මේ දානය "සැරියුත් මුගලන් ආදී වූ මහ රහතුන්ගෙන් පැවත එන ශ්‍රාවක සඟරුවනට පූජා කරමි පූජා වේවා" කියලා.
උදා: ගිම්හානි අක්කට පුළුවන් ජමනාරං යුෂ ටිකක් ස්වාමීන් වහන්සේ නමකට පුජා කරන්න.
මේකට ලොකු කුඩා භේදයක්වත්, ස්වාමීන්වහන්සේලා ගනන වත් බලපාන්නෙ නෑ.

3.කෙදිනක හෝ ගසක් සිටවන විට සිතන්න මෙහෙම,
"මේ ගස් සිටුවීම කියන්නෙ දිවා රෑ පින් රැස් වෙන පින්කමක්" කියලා.
ගසකින් සිදු වන යහපත සිහිපත් කරන්න.

4.එවිට තවත් කවුරුන් හෝ ගස් සිටුවාවි.තම තමන්ගේ බ්ලොග් වලත් මේ ගස් සිටුවීම ගැන පෝස්ට් එක දාන්න.දිගටම සොබාසුමිතුරන් වෙන්න.

5.වෙද මහත්තයාට සහ වෛද්‍යයතුමන්ට පුළුවන් රෝගීන් කිහිප 
දෙනෙකුට සහ ශ්‍රාවක සඟරුවනට බෙහෙත් ටිකක් පූජා කරන්න.

6.ඔබේ දරුවන් සහ මිතුරන් සොබා සුමිතුරන් කරන්න යත්න දරන්න.

මේ ආදී පින්කම් කර මට පින් අනුමෝදන් කරන්න.
"ගෝඩෝනියාට මේ පින් අනුමෝදන් වේවා" කියලා.
මාතලන් මාමා, කකා මාමා, බුවා අයියා,
නන්දු නංගී,. සයුරි අක්කා, ගිම්හානි අක්කා,ලොකු ජෝන් අයියා, කෙසී, මල්සරා, කැහිබෙල්ලා, විසිතුරු,බටහිර හා අයුර්වේද වෙදමහතුන් දෙන්නා,ගීත් අයියා, ඔබ නොදුටු ලොවක්, ගඩොල් අයියා,කුමාරිහාමි අක්කා,නදී අක්කා,ඔබ්සර්වර් මහත්තයා, වර්ෂා, චාමි, සිංහයා අයියා,සුදු මැණිකේ අක්කා,මහේෂ් සර්, 
මෙකී නොකී හැමෝමත් මගේ බ්ලොගය කියවන හැමෝමත් මේක කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
ස්තූතියි.

තව මගෙ මිනියට වටිනා දැව පෙට්ටි එපා. දවසකින් වැඩ ඉවර කරන්න.
ගුණ කථන හෝ කිසිම කථනයක් එපා.
දැන්වීම්, ඉටිරෙදි කොඩි එපා.
තව ඉල්ලිමක් මම "සොහොන් බිම" කියන කවි පන්තිය හොයනවා.
තියන කෙනෙක් වේ නම් දෙන්න.
මෙය කුඩලිගමයන්ගේ සුන්දර පරිවර්තනයක් "Graveyard" කියන ඉංග්‍රීසි කවි පෙලේ.
සිංහල පෙල පොතක තිබුණා හොයා ගන්න නෑ දැන්.

Sunday, October 16, 2011

කුමාරිහාමි අක්කේ බලන්න දැන් මේක තේරෙනවද කියලා ...

Carl Linnaeus
මේකත් මම ලියන්න කියලා හිතං හිටිය එකක්.
සොබා සුමිතුරු වෙන්න මේකෙන් වැදගත්කමක් කෙලින්ම නෑ.
මොකද මේ දේ ලෝකෙට එන්න කලින් ඕන තරම් සොබා සුමිතුරෝ හිටිය ලොකේ.
ඒත් ඉතිං දෙයක් ඉගන ගන්න එක වටිනවනෙ.
මේ දේ ටිකක් දැන ගත්තොත් ශාක සහ සතුන් ගැන තියන ඉංග්‍රීසි දේවල් තේරුම් ගන්න ලේසි වෙයි චුට්ටක් විතර.
අපි හිතමු අපි ගහක් ගැන හා ඔන්න අඹ ගහ ගත්තා කියමු.
ඔන්න ගියා බ්‍රවුසර් එකට  ගිහින් ගැහුවා "Mango" කියලා.
ඊට පස්සෙ ආව මොකක් හරි එකක් විකිපීඩියා කියමු.
මෙන්න තියනවා නමක් Mangifera indica කියලා මේ මොකද්ද?


මේකට තමා කියන්නෙ ද්වි පද නාමය (Binominal Name) කියලා.
මේක ලෝකෙට හදුන්වා දුන්නෙ කැරොලස් වොන් ලිනේයස්.
ඔහොම තමා මම දන්නෙ, මේක උච්ඡාරණය කරන්න.
මෙන්න විකි පිටුව ගිහින් බලන්න.
කොහොම හරි ලිනේයස් ගෝලයෙක් ලංකාවටත් එවල තියනවා.
තන්බර්ජ් , මෙයාට ගරු කරන්න තමා අපි හැමෝම දන්න තන්බර්ජියා කියන ශාක ගණය නම් කරල තියන්නෙ.
මෙහෙම ලංකාවට විතරක් නෙවේ ලෝකෙ වටේටම ගෝලයො සෙට් එකක් යවල තියනව ලිනේයස්.
සමහරු ඒ රටවලදිම මැරිල ආය ඇවිත් නෑ.
ඉතිං එයාලගෙ වයිෆ්ලා ඇවිත් ලිනේයස්ට බැනලා "අපිව අනාථ කරා" කියලා.
ඒ නිසා ලිනේයස් ආය ගත්තෙ බැඳපු නැති ගෝලයෝ විතරලු.
ඉතිං ලිනේයස් මෙහෙම යවපු ගෝලයො ගෙනාපු ශාක සහ සත්තු වර්ග 11,000 ක් විතර නම් කරලා තියනවා.
එයා නම් කරපුවගෙ අග "L" අකුරක් තියනවා.
උදා: Mangifera indica .L - අඹ
       Anona muricata .L - කටු අනෝදා
       Balaenoptera musculus .L - නිල් තල්මහ
ඉතින් ගෝලයො ටික දුක් විඳලා එකතු කරපු ශාක හා සත්තු ටික නම් කරලා ලිනේයස් නම දාගත්තා.
එක ගෝලයෙක් එයා එකතු කරපුවා දුන්නෙ නෑ කියලා ලිනේයස්ට හෙනට මළ පැනලලු.
අද කාලෙත් මේක තියනවා, එක්කනෙක් හොයාගත්ත එකක් විස්තර කරල වෙන එක්කනෙක් නම දාගන්නවා.
මහ කැත වැඩ.
කොහොම වුනත් ලිනේයස් කරපු දේ නිසා ශාක සහ සතුන් වර්ගීකරණය පිළිවෙලක් වුනා.
ඔන්න ඔහොමයි නමක් තියන්නෙ.
1.ගණ නාමය
2.විශේෂ නාමය
මීට අමතරව තියෙන්න පුළුවන් උප විශේෂය.
එතකොට මැදින් තියෙන්න පුලුවන්.
අන්තිමට හරියටම කෑලි බෑලි ඔක්කොම දාපුවම පේන්නෙ මේ වගේ.


Citrus grandis Var grandis .Osbeck 


හීං බෝවිටියා (Osbeckia ocrandra) අයිති ගණය නම් කරල තියන්නෙ මෙයාට ගරු කරන්න.
ලිනේයස් මෙයාගෙ බැචාලු.
මේවගේ ජීවී විශේෂ වර්ගීකරණයෙදී කොටස් වලට වෙන් කරලා තියනවා ඒවාගෙ බාහිර රූපාකාරය සහ ඒවගෙ වෙනත් ලක්ෂණ සලකල.
ශාකයක නම් මල්, කොල සලකල ඒ වගේ.
දැන් නම් මේකට ජාන වලත් සමානකම් අධ්‍යයනය කරනවා.


විශේෂයක් කියන්නෙ, ලිංගික ප්‍රජනනයෙන් සරු දරු පරපුරක් බිහි කරන්න පුළුවන් ජීවීන් කණ්ඩයකට.
දැන් ව්‍යාඝ්‍ර දෙනයි (Panthera tigris) සිංහයයි (Panthera leo) එකතු වෙලා පැටියෙක් හැදෙනවා ලයිගර් (Ligar) කියලා.
ඒකා වඳයි. ඒ නිසා විශේෂයක් වෙන්නෙ නෑ.


මේ වගේ විශේෂ තියනවනෙ, මේ වගේ විශේෂ වලත් සමාන ලක්ෂණ තියනවනෙ,
අන්න එහෙම විශේෂ එකතු කරලා හදනවා ගණයක් කියල එකක්.
ඒ වගේ ගණ එකතු කරල හදනවා කුලයක් (Family).
ඔහොම ඔහොම එකතු වෙලා ගෝත්‍ර, වංශ, වර්ග, රාජධානි හැදෙනවා.


ඔන්න ආයෙත් මුලට එමු.
මෙන්න තියනවා මේ ද්විපද නාම ලියන එකේ රීති.

1.ඉංග්‍රීසි අකුරු භාවිතය.
2.ගණ නම සහ විශේෂ නම් අතර ඉඩක් තැබීම.
3.ලියනකොට වචන දෙකට වෙන වෙනම යටින් ඉරි ගැසීම.
4.ටයිප් කරනකොට ඇල අකුරු භාවිතය.
5.ගන නමේ මුලකුර හැර අනික් සියලු අකුරු සිම්පල් අකුරින් ලියනවා.
6.ලතින් හෝ ලතින් ඌරුවට (හුරුවට ) නමක් යෙදීම.
  ලිනේයසුත් ගොඩක් ලතින් භාවිතා කරපු නිසා එයාගෙ නම ලත් හුරුවට වෙනස් කරාලු.
අපෙ රටේ තියනව ආවේනික ශාකයක්.
ඒක නම් කරා මහාචාර්ය එම්. ඩී දසනායකයන්ට උපහාර පිණිස.
මෙතුමා තමා ලංකාවෙ දැණට තියන ශාක විස්තර කරපු හොඳම පොත් පෙල වුන Flora Of Ceylon පොත් පෙල සංශෝධනයෙදි මුලසුන ගත්තෙ.
ඉතින් ලතින් හුරුව ගන්න දැම්මෙ කියල dassanayaka නෙවේ dassanayakei කියලා විශේෂ නාමයට.
බලන්න මේක හුරුද කියලා?
Gordonia dassanayakei 


තව ඉතින් එක ළඟ එක ගණයෙ විශේෂ දෙකක් ලියනව නම්,මුල්ම එකේ විතරක් ගන නම සම්පූර්ණයෙන් ලියල අනික්වට විතරක් ගන නාමයේ මුලකුර යොදලා තිතක් ලියල විශේෂ නම ලියනවා.

කුමාරිහාමි අක්කෙ දැන් බලන්න දැන් මේක තේරෙනවද කියලා.
මේ තියන ගණයත් නම් කරේ ලිනේයස් ඒ නිසා ඒකටත් "L" දාලා.

Family : Rutaceae 

Genus: Citrus L.

A. Citrus aurantifolia (Christm. & Panzer) Swingle - දෙහි

B. C.grandis (L.) Osbeck
 1.var. grandis 
  ජම්බෝල

2.var. racemosa (Roem.) B. C. Stone 
   True grapefruit


මෙහි ඇත්තේ මම දන්නා ඒවා සහ උපුටාගත් ඒවාගේ සම්මිශ්‍රණයක් බව කරුණාවෙන් සලකන්න.

මාර ගස් ගැන මාර කතාවක් - මොකද්ද සංරක්ෂණය ?

මම මේක ලියන්ට ගොඩක් කල් හිත හිත හිටියා.
ඒත් ලියන්ට බැරි වුනා.
ඒත් මට ඊයේ ඒක මතක් වුනා මගෙ ලිපියකට ලියපු අදහක් නිසා.
ඒක දාපු සහෝදරයට  ගොඩක් ස්තූතියි.
කොහොම වුනත් මට කියන්න තියන ගොඩක් එව්ව ලියන්ට ඕන.

ඉස්සල්ලාම මට කියන්න තියන්නෙ මම මේ විෂය ගැන ඩිප්ලෝමාවක්වත් නැති කෙනෙක් කියලා.
මම තවම පොඩි කොල්ලෙක්.
ඒ නිසා කෙනෙක්ට අහන්න පුළුවන් ඔයාට මොකද්ද තියන සුදුසුකම මේක ලියන්න කියල.
ඒකට දෙන්න තියන උත්තරේ මට ඕන හින්දා මම ලියනවා, එකට සුදුසු කමක් ඕන නෑනෙ,
කැමති නැත්තං බලන්න එපා.
වැරැද්දක් තියනව නම් ප්‍රසිද්ධියේ හරි කියන්න කියල.
ඊළඟට අහයි ඔය මේ කියන ඒවා ඔක්කොම කරනවද කියලා...
කියන්න ලෙසියි කරන්න ආමාරුයි කියයි.
දැනට නම් දාපු ඒවා ඔක්කොම වගේ කරන ඒවා.
ඒත් මට හිතුනොත් මම කරන්නෙ නැති එකක් වුනත් දානවා.
මොකද මම කොළඹ තට්ටු ගෙදරක පොඩි කෑල්ලක කුළියට ඉන්නව නම්,
මට මේ කියනව වගේ ජමනාරං නෙවේ රෝස ගහක් වුනත් හදන්න අමාරු වෙන්න පුළුවන්.
ඒ වගේම වෙලාව මදි වෙන්න පුළුවන්.
ඒත් මේක කියවන කෙනෙක් ඉන්න පුළුවන් දැවැන්ත වත්තක් තියන ඒකෙ නිවී හැනහිල්ලේ ගස් 1000ක් වුනත් හිටවන්න පුළුවන්.

උදාහරණයක් විදිහට මට ඇත්තටම ආසයි මාර ගහක් හදන්න.
ඉතින් ඒකට මට කොහොමටවත් ඉඩ නෑ.
ඒත් මට පුළුවන් මට ආසයි කියල දාන්න,
සමහරවිට මේක කියවල කෙනෙක් මාර ගහක් හදයි.
මට ආස එහෙම එකක් හදල ඒකෙ ඕකිඩ් වර්ග, කඩුපුල් හැදෙනවා බලන්න, තව ගහ යට රවුමට වාඩි වෙන්න තැනක් හදන්න.

ෆොටෝ හොයනකොට මතක් වුනේ මම හතේ අටේ ඉන්නකොට අපි හැම වෙලේම බලන්නෙ ගහක් යට පන්තියක් ඇරෙන්ජ් කරගන්න.
මට මතකයි ඒක යට ඉන්නකොට පිළලිච්චො (Pale Billed Flower Peckers) කෑගහපු හැටි, සහ පිළිල (Dendrophthoe spp)ගෙඩි වැටිලා තිබුණ හැටි.
ඒක තිබුණේ ජෑම් සහ අඹ ගහක් යට.
මට හිතෙන්නෙ ගස් යට අධ්‍යාපනෙත් ඉගනීමට ඇතුලත් කරන්න ඕන.
යුධ පුහුණුවත් නියමම ගස් යට අත්දැකීමක්.

මාතලේ සිට එකේ යනකොට මාර ගස් වල මේවා පිරිලා තිබුණා.
ඒත් සංවර්ධනේ මුවාවෙන් ඒ ගස් කපනවා දැන්.


එහෙම ගහක තිබිලා මට හම්බුන ඕකිඩ් එකක් මේක Acampe praemosa.
මේක සුලබයි.
ඒත් වටිනවා. 
ඒත් මම මේ බ්ලොග් එක ලියනවා.
මොකද ඒ දේ කරන්න බැරි වුනත් මම ඒ දේ කරන්න ආස නිසා.
මට කොහොමත් මේක ලියන එකෙන් තෘප්තියක් තියන්ව ලොකු.
මොකද මම දන්න තරමින් මේ වගේ සිංහල බ්ලොග් එකක් නෑ.
අනික මට ඉස්සර ඉඳලා ආසාවක් තිබුණා ලියන්න,
ඉස්සල්ලම විදුසර, අපේ සංගමේ "යොමුව" වගේ ඒවට ලීවා.
පස්සෙ ෆේස්බුක් ලීවා.
ඊට පස්සෙ හදිසියෙම බ්ලොග් දැකල බ්ලොගයක් හැදුවා.
මට ප්‍රශ්නයක් නෑ ගොඩක් ෆලෝව'ස්ලා හෝ කමෙන්ට්ස් නෑ කියලා.
කියවන අයගෙන් එක්කනෙක් හරි ආසාවෙන් මේක කියවල ටැප් එකක් හරි නිකරුණේ ඇරල තියනකොට ඒක වහල යයිනෙ,
පාරේ නිකරුණේ පත්තු වෙන ලයිට් එකක් හරි නිවයිනෙ.
අඳුරේ ඉදගෙන ඒකට ශාප කර කර ඉන්නෙ නැතුව වඩා එක ඉටි පහනක් හරි දල්වන එක වටිනවා ලුනෙ.
මම දැන් වෙන ක්ෂේත්‍රයකට අදාලව ඉගනීම කරාට, මගෙ ඉස්සර සිහිනය වුනේ උද්භිද විද්‍යාව හදාරන්ට.
මට ඒකට අවස්තාව ආව මගෙ පළවෙනි උසස් පෙළ උත්සාහයෙදි.
මට මෙහෙම ආසාවක් ඇති වෙන්න හේතුව මම ඒ පැත්තෙං ගොඩක් ඉහලට ගියපු අයට ආසා කිරීම සහ,
සොබාවට ඇති නොනිම් ආසාව.
මගේ ආසාව වුනේ ආචාර්ය සිරිල් විජේසුන්දර වගේ කෙනෙක් වෙන්න.
ඉතින් මගෙ හීනේ වුනේ පේරා සයන්ස් ෆැක් එක.
ඉතින් පළවෙනි පාරම ඒකට උඩින්ම යන්න චාන්ස් එකක් ආවා.
ගිය අවුරුද්දෙ ජූලි පළවෙනිදා මට එහෙට එන්න කියල ලියුමකුත් ආවා.
ඒත් මම හිතුවා මෙහෙම,
මේ දේවල් කරනවට වඩා අහිංසක මනුස්සයෙක්ට බෙහෙත් ටිකක් දෙන එක, පිහිට වෙන එක හොඳයි කියලා.
ඒක ලොකු පිනක්.
මට මේ සිතුවිල්ල උපද්දවන්ට උපකාර කරේ මගේ භෞතික විද්‍යාව ගුරුවරයා.
ඒ සර් කීවා නිකං පුළුවන්කම තියාගෙන සයන් යන්නෙපා කියලා.
ඉත්ං සර්ට පිං සිද්ද වෙන්න මම අද පේරා මෙඩි ෆැක් එකේ.
සයන්ස් එකට තවම ආසයි ඉතිං.
ඒත් කමක් නෑ මේකෙන් මිනිසුන්ට යහපතක් කරන්න බලනවා.
ඔය ඇති ඒ ගැන.
කොහොම වුනත් මම විවෘතයි ප්‍රශ්න වලට.
මම දැන් සංරක්ෂණේ ගැනත් ලියනවා කමක් නෑ දිග වැඩි වුනාට.

සංරක්ෂනය කියන්නෙ පරිසරේ කිසිම දෙයක් ප්‍රයෝජනේට ගන්නෙ නැතුව කිසිම දෙයක් වෙනස් කරන්නෙ නැතුව කැලෑවල් වටේ බැමි ගහල, සත්තුන්ට යන්ට බැරි වෙන්න එකට උඩින් දැලකුත් ගහල මිනිස්සුන්ට ඒකට යන්ට තහනම් කරනවා කියන එක නෙවේ.
වර්තමානයේ ජීවත් වෙන පරපුර උපරිම ප්‍රයෝජනයක් ගන්මින්, මතු පරපුරටත් ඉතුරු කරමින් කරන භාවිතයක්.

අපි හිතමු දැන් මොකක් හරි ගස් වර්ගයක් තියනවා ඒක දුර්ලභයි, ඒ වුනාට ලීය ගෘහ භාණ්ඩ හදන්න නියමයි.
අපි ඒ ගහ සංරක්ෂණේ කරන්නෙ කොහොමද?
අපි ඒ ගහ බෝ කරගන්න ඕන.
ඒකට පටක රෝපනය වගේ ක්‍රම යොදාගන්නවා.
ඊට පස්සෙ මොකද කරන්නෙ,
අපි ඒ හදාගත්තු පැල ටික කැලෑ වල විතරක්ම හිටවලා ඒවා වටේට වැටක් ගහල තියාගෙන ඉන්න එකද?
නෑ පුළුවන් තරම් ගස් හදාගෙන ඒ ගස් වලින් ප්‍රයෝජනයක් ගන්නත් ඕන.
අපෙ රටේ තියනවා ලස්සන වනමල් ඒවා අපිට පුළුවන් දියුණු කරන්න ජාන තාක්ෂණය මඟින්.
නැතුව අපි ඒවගෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව තියාගෙන ඉඳල විතරක් වැඩක් නෑ.
දැන් බලන්න අපෙන් හොරකම් කරපු බිනර (Exacum trinervium sub sp macranthum), දැන් ඕලන්ද කාරයෝ ඒ ගහට පෙටන්ට් අරගෙන.
මේකට බලන්න අපේ දේශීය ගහ පෝච්චියක හදන්න පුළුවන් විදිහට දියුණු කරලා,


අපේ ගහයි ඒ ගහෙයි වෙනස බලන්න,
මේ ලින්ක් වල තව ඇති.
කියන්නෙ ජෛව මංකොල්ලය (Bio Piracy) කියලා.
හොරකම් කරලා ඒ මල් දියුණු කරලා ජාන තක්ෂණයෙන්,
ගිනි ගණන් වලට අපනයනය කරනවා ලෝකෙ පුරාම.
හොරකම වැරදියි.
ඒත් අපිටත් තිබුණා ඔය ටිකම කරන්න ලංකාවෙ.

තව තියනවා හොරකම් කරපුවා, මේත් එහෙම එකක් Impatiens repens ආයෙත් ඉතිං මම ම දීලා වැඩක් නෑනෙ ඔයාලම මේක අන්තර්ජාලෙ හොයල බලන්න කොච්චර ලස්සන මලක්ද කියලා.
මේකත් බිනර වගේම අපිට ආවේණික එකක් ඒත් සුද්දො හොරකම් කරා..
මොකද්දෝ රටක් කොහොඹ වලට පේටන්ට් ගන්න ගියා.
ඒත් ඉන්දියාව නඩු දාල ඒක ආය ගත්තා.
ඒ ඉන්දියාව.

අපිට වෙලාවකට පරිසරයට හානි කරන්න, වෙනස් කරන්නත් වෙනවා.
ඒකට කරන්න දෙයක් නෑ.
අන්තවාදී වෙන්නත් බෑ.
පොඩිම උදාහරණෙ අපෙ ගෙදර වල් ගහක් තියනවා, අපිට ඒකෙන් ගොඩක්කරදරයි නම් අපිට වෙනව ඒක ගලවන්න.
ගහක අත්තක් වහලෙට නැමිල තියනව නම් අපිට වෙනවා ඒක කපල අයින් කරන්න.
අපිට කියන්න බෑ හැම තැනම ලොකු ගස් , ගෙඩි හැදෙන ගස් විතරක් හදන්න කියන්න,
අපිට සිද්ද වෙනවා සමහර තැන් වල මල් ටිකකුත් හදන්න.
එහෙම නැතුව වැඩක් තියන් ඒවාම විතරක් හදන්න පුළුවන් නම් හොඳයි.
ඒත් මල් ගස් වලිනුත් වැඩක් තියන්වා,
ඒකත් ගහක්.
තව ලොකු ගණයේ උදාහරණයක්.
ඔන්න පේරාදෙණියෙ උද්භිද  උද්‍යානය තියනවා, අක්කර එකසිය පනහක් විතර,
කෙනෙක් කියනවා මේක මෙහෙම තියල හරියන් නෑ,
මේ මොනවද, මලුයි, තල් මාවතුයි, පිට රටින් ගෙනාපු නුග ගසුයි, තඩි පිට්ටනියි,
මේවා වැඩක් නෑ.
මේකෙ පිට්ටනි නැති කරල මෙතන හදන්න ඕන කැලයක් කියලා..
ඒක හරිද?
හරි යන් නෑ.
මොකද ලෝක සම්මතය එහෙම නෙවේ,
මිනිස්සු හැමෝම වගේ ලස්සන දේවල් වල ආසයි.
අනික ඒ දේවල් වලිනුත් සේවය වෙනවා,
ඒත් මම කියන් නෑ ඔක්කොම තැන් එහෙම විය යුතුයි කියලා,
එක එක තැන් එක එක විදිහට.
මම කියන් නෑ සිංහරාජ හරහා පාරක් කැපිය යුතුය කියල.
තමන්ට පුළුවන් නම් අවබෝධෙන් යුතුව වැඩක් කරන්න,
එතනයි වටිනාකම තියන්නෙ,
වල් ගහක් වුනත් ඒකත් සත්තුන්ට හරි වටිනවනෙ කියල ඉතුරු කරන්නත් පුළුවන්,
මේක මෙතන තියල බෑ, මේ දර්ශනය කැත වෙනවා, මෙතන මල් ගහක් හදන්න ඕන කියල ගලවන්නත් පුළුවන්,
ඒ නිසා අන්තවාදි වෙන්නවත් විනාස කරන්නවත් එපා.
හරි දේ කරන්න.
එතනිනුයි සැබෑ සොබා සුමිතුරෙක් බිහි වෙන්නෙ.

Saturday, October 15, 2011

ජමනාරං


මම රෝස ගහකුයි ජමනාරං ගහකුයි ගෙනාවා.
මේ පැල ගත්තේ ඉස්කෝලෙ වැඩේට ගස් ගත්ත තැනකිං.
ඉස්කෝලෙ ගස් ටික බලන්න ගිය වෙලාවක ඒවට වතුර දාලා පේරා පැත්තෙ යන්න හිතුනා.
මගදි වෙලා යනව කියල මතක් වෙලා පැල කඩේ ගාවින් බැහැල පැල ගත්ත.
මට ඉස්සර ඉදල ආසාවක් තිබුනා ජමනාරං ගහක් හදාගන්න.
ඒත් හරි ගියේ නෑ.
අන්තිමට ගත්ත ඔන්න.
කොහොම හරි ඔන්න ගස් දෙක උස්සගෙන ගෙදර ආවා.


ගෙදර ඇවිත් රෝස ගහ නම් හිටෙවුවා මගෙ තැඹිලි, සහ ලේ රතු පාට රෝස ගස් දෙක තියන තැන.
මට ඕන එතන පොඩි මල් උයනක් කරන්න.
දැන් එතන රෝස ගස් හතරක් තියනවා බද්ධ කොරපුවා.
බද්ධ නැති එව්වා දෙකයි.
එව්වත් බද්ධ කොරන්ට ඕන.
ඔන ඉතිං රෝස පැලේ නම් හිටෙවුවා,
ඒත් ජමනාරම හදන්න ගියාම තමා ඔළුව අවුල් වෙන්නෙ,
හැමදම එන ප්‍රශ්නෙ තැනක් හොයා ගැනීම.

ගේ වටේටම වත්ත වටේ කරක් ගහලත් තැනක් හොයාගන්න බැරි වුනා.
සමහර තැන් වල අප්පච්චි හදපු ගස්, කෙහෙල් ගස්,එක්කො වහලෙට ළඟ වැඩියි.
ඒ නිසා අන්තිමට ඔලුව කුරුවල් වෙලා නතර වුනා, ගහ ගෙනාපු දවසෙම හදන්න බැරි වුනා.
ඉතින් ගස හැදීම කල් ගියා.
අප්පච්චි ආවා අප්පච්චි කියපු තැන මටත් කලින් හිතුනා ඒත් එතන හරි යන් නෑ.
දොඩම් ගහත් එතනමයි.
ඒ නිසා අන්තිමට මම තීරණය කොරා ඒක දඹල මැස්ස යට හදන්න.
තව ටික කාලෙකින් ඒක අයින් වෙනවනෙ.
ඔන්න අපෙ අම්ම මට හොඳ අදහසක් දුන්නා,
(මට මතක් වුනේ නෑනෙ අප්පා )
අම්ම කීව ඕක කැම්පස් යන පළවෙනි දවසෙ හදන්න කියලා.
ඉතිං මම කලින් දවසෙ වල කපලා, පොහොර දාල ලෑස්ති කරල තියලා තිබ්බා.
පහුවදා උදේ කැම්පුස් යන්ට කලියෙන් පැලේ ඉන්දලා ගියා.
07-10-2011
හරි සතුටුයි.
පස්සෙ මම මේක මගෙ රෙදි බෑග් ෆොටෝ දුන්න යෙහෙළියට කීවම එයා කීව අපරාදෙ කියලා.
මං කීව ඉතින් පරක්කු වුනාට කමක් නෑ, දැන්වත් හිටවන්න කියලා.
කොහොම හරි අම්මට පිං සිද්ද වෙන්ට ඒ වැඩෙත් අනුස්මරණීය විදිහට කරගත්තා.
මගෙ යෙහෙළිය පැලයක් හැදුවද මංදා.
කොහොම වුනත් කියන්න තියන්නෙ මේ වැඩේ ඉස්සර ඉදල ප්‍රචලිතයි,
ඒ කියන්නෙ මොකක් හරි විශේෂ දවසක් සිහිවෙන්න ගස් හදන එක.
ඒත් මමත් කියනවා ඒකම.
ඔයාලගෙත් උපන්දින වගේ දේවල් වලට ගස් හැදුවොත් ගොඩාක් වටිනවා.
ගහක ප්‍රයෝජන ගොඩයිනෙ.
අපෙන් පරිසරයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් උරාගන්නවා අපි හදන ගස්.

පිංතූරෙ මගෙ නෙවේ කැමරාවක් තියනව කේබල් එකක් නෑ.
හම්බුනාම මගෙ එකක් දානවා.

Thursday, October 13, 2011

පොඩි එකාව ලොකු ඉස්කොලෙකට දාගන්න ඕන....



මා පසුගිය ලෝක ළමා දිනයේදී අපේ අම්මා උගන්වන පාසැලට ගියේ එහි දුප්පත් පොඩිවුන්ට ළමා චිත්‍රපටියක් පෙන්වීමටය.
ජාතිකයේ ගිය පුංචි ඉත්තෑවා (The Little Hedgehog) චිත්‍රපටිය අවම පහසුකම් යටතේ වුව සාර්ථකව පෙන්වා අසීමිත සතුටක් භුක්ති විඳිමට හැකි විය.
මගේ අදහස වූයේ Fantastic Mr. Fox පෙන්වීමට වුවත්,
එය පසුව සාකඡ්චා මඟින් Robots බවටද ජනතාවගේ ඉල්ලිම මත පුංචි ඉත්තෑවා බවටද පත්විය.

අම්මාගේ පාසල දුප්පත් එකකි.
මගේ මුල්ම පාසල වූයේද පොඩි එකකි, මම අම්ම සමඟ ඒ පාසලට ගියේ මහගෙදා ළඟම පාසල එය වූ හෙයින් සහ අම්මා එහි උගැන්වූ කළ නිසාය.
(අපෙ අම්මා හැමදාම ගියේ පොඩි දුප්පත් ළඟපාත් පාසල් වලටය, ඒ නිසා අපිට කරදරයක් නැතුව ඉඳීමේ වාසනාව උදා විය )
එහෙත් මට එහේදී වැටහුන දෙය නම් දරුවෙකුට ඉගෙනීමට සුදුසුම පරිසරයක් ඇත්තේ ගමේ බවයි.
උකුස්සා - Crested Serpent Eagle
දෙමලිච්චා - Seven Sisters/ Common Babler 
ආදී පක්ෂීන්ගේ නාදය පරිසරය සුන්දර කරමිනි තිබිණි.
පාසලට පහල මායිමේ කුඩා දිය පහරක්ද, වෙල් යායක්ද විය.
ඒ දිය පහර මට නම් කුඩා වුවත් සුන්දර විය,
එහි ගස් පර්ණාංග (Tree Ferns - Cyathea sp)පවා තිබිණි.
එතැනද ආක්‍රමණික ශාක තිබුණද, මට සිතුනේ අතීතයේ මේ පෙදෙස් වල කෙතරම් සුන්දරත්වයක් තිබෙන්නට ඇත්ද යන්නයි.

පාසලේ පොඩිවුන්ට කන වැකෙන්නේ මේ කුරුළු ගී හඬයි,
පෙනෙන්නේ මේ සුන්දර පරිසරයයි.
මම දිනක් දුටුවේ (සවස 3ත් පසුවී )නුවර සිට අපි සිටින තැනටත් වඩා එනම් රුපියල් විසි දෙකකටත් වඩා බොහෝ දුර යන පෙර පාසල් ළමයෙකි.
ඔහුව වඩාගෙන ඔහුගේ අම්මා ඔහුට පොඩි පහරක් දුන්නේය.
ඒ ක්‍රීම් පාට ජාත්‍යන්තර පෙරපාසල් ඇඳුමකින් සැරසී සිටි දරුවා නොනවත්වා අඬන හෙයිනි.
මේ දරුවා උදේ 6 පමණ සිටම මේ පෙර පාසලේ ඉන්නට ඇතැයි මට සිතුනි.
අනේ මේ දරුවාට කොයින්ද පරිසරය දකින්න අහන්න  හෝ ඒ නැතත් අම්මා හෝ වැඩිහිටියන් සමඟ ඉන්නට අවස්ථාවක්?
අනේ මම කෙතරම් වාසනාවන්ත්දැයි මට සිතුනි.
ඇත්තට මට පොඩි කාලයේම නගරයේ ලොකු පාසලකට යෑමට නොලැබීම මගේ වාසනාවකැයි මට සිතේ.
අපෙ අම්මා මාව පෙර පාසල් යැවුවේද නැත, ඒ වෙනුවට මාව පාසලට ගෙන ගොස් එක වසරේ පන්ති වල තැබුවාය.(මෙය නම් ගුරු පුතෙක් වීමේ ප්‍රතිලාභයකි)
පාසල් යෑමට පෙරම අම්මා මට පාඩම් කියා දුන්නාය.
මට දැන් හිතෙන්නේ දැන් මගේ හිතට එන මේ සොබාව කෙරෙහි උපදින පෙම, අපේ අම්මාට පින් සිද්ද වෙන්ට ආව දෙයක් බවය.
ඇත්තටම මම තවමත් මගේ පළමු පාසලට පෙම් කරමි.
මට වසර ගණනාවක සිට සිතෙන්නේ එය බැලීමට යායුතු බවය, එහෙත් එය තවමත් කරගත් හැකි නොවිය.
ඒ පාසල ගැන සුන්දර මතක තවම මගේ හිතේ ඇත.
ඒවා පසුව ලියමි.
කෙසේ වෙතත් මට හිතෙනා පරිදි ගම තරම් දරුවෙකුට ඉගනීමට සුදුසු තැනක් තවත් නැත.
නොනවතින තරඟය සහ පහසුකම් විෂමතාව එයට බාධා කරත්.
මට හිතෙනා හැටියට, ළමයාගේ දියුණුවට පාසලම බලනොපායි.
පරිසරය රසවිඳින්නට හෝ අම්මා, අත්තම්මා ඇසුරේ සිටීමට හෝ නොහැකි නම් කුමටද මහ පාසැල් වලට ගොස්?
අන්තිමට ඉතුරු වෙන්නේ ටවුමේ දූවිල්ලට සහ ඝෝෂාවටත්, උදේ සිට පාසල් වෑන් හෝ බස් වල නිදි කිර කිර ගිය දරුවෙක් පමණක් වීමට ඉඩ වැඩිය.
පාසල් සහ ආකල්ප යන දෙකම තවත් දියුණු වූ විට.
සුන්දර දරුවන් තව තවත් බිහි වෙනු ඇත.

(මගේ පැරණි ලිපියක මගේ සොබා පෙම වැඩුමට අම්මාගේ දායකත්වයට තවත් එක්කිරීමට මතක් වී අමතක් වූ එකක් එක් කරමි.
අපෙ අම්මා සහ මම ඉස්සර බොහෝ කැමති රෑට ලයිට් යනවාටා.
ඒ පාඩුවේ අහස බැලීමටය.
දිනක් මම එක වසරේ හෝ ඊටත් අඩු වයසේදී එක් දිනක් ලයිට් ගිය විට,
අම්ම මා සමඟ ගොස් කදිම සඳ ඇති රැයක් පෙන්වූවා මට තවම මතකය්.
එවිට ගේ ළඟ චීන තණකොල පඳුරු දෙසට සර්පයෙකු ඇදී යනවා දුටු අපි බයවීමු.
ඒත් ඒ පඳුරු වලට අපි පොල්ලකින් ගැසූ බව මතකය.
හොඳ වෙලාවට ඌ මැරෙන්නට නැතුව ඇතැයි මම සිතමි මොකද උගේ නැට්ටවත් එවිට තියන්නට නැතුව ඇත.
එහෙම වුනා නම් අත්දැකීම කැත වේ.
දැන් මගේ දැණුමට අනුව ඌ දැක්වූ චර්යාවට අනුව ඌ අහිංසකයෙකි.)

"Mage profile pic 1 elada?... Mama you ge blog 1 piyasathan kiyewwata passe man gawa thiyagena hitapu me 4to 1 damma. thnx mathakaya awadi karanawata. you ta AL iwara wenakam thibuna senahasa mata grade 6 walin nethiuna. ekai godak ma duka hithune. dan unath gedara giyuath weda wdi nisa hariyata katha karannawath welawak ne. dan gedara yanneth mas 1 ta sarayak wage."

මේ මගේ මිතුරෙක් පිය සටහන් කියවා එවූ පණිවිඩයකි.
මේ කියන ෆොටෝ එක ඔහු සහ ඔහුගේ අම්මා එකට ඉන්න එකකි.
ඔහුටද ගම හැර ශිෂ්‍යත්වයෙන් නුවර එන්න විය.
එහි වරදක් නැත.
එහෙත් මට හිතෙන්නේ මගේ යාළුවා පවු කියාය,
6 වසරේ පොඩි එකෙක් ගෙදර හැර තනියම නාදුනන පළාතක සිටීම
ඒ ළමයාගේ හිතට කුමන අයුරක දෙයක් ගෙනාවාදැයි මම නොදනිමි.
මේ දේවල් ගැන අපි සිතනවාට වඩා ගැඹුරට සිතිය යුතුය.
අවසන් වශයෙන් මම අපූව නැවත් ඇදගමි.
මේ අපූ චින්තනයෙන් (විභූති භූෂණයන් නිමැවූ)
බිඳකි
287 සහ294 පිටුවල සිට ඉදිරියට කියවන්න..
මේ එක් කොටසකි.
"මේ එක් දින රාත්‍රියේ අපූට සිතුණේ ඔහු කාජල්ට ලොකු අසාධාරණයක් කරන බවය.
කාජල්ගේ වටිනාකම මිල කළ නොහැකි ළමා වියේ දී ඔහු කොන්ක්‍රීට් හා සිමෙන්හි වලින්ද බාර්ඩ් කොම්පඇනියේ පෙටන්ට් ගල් වලින්ද බඳින ළද සිපිරිගෙයක සිරකොට තබා ගෙන ඔහුගේ ළපටි උනන්දු සහගත සිහින මවන ළමා මනස විචිත්‍රභාවයෙන්  තොට පහත් අනුභූතියකින් පුරවා තැබීම අවිචාරවත් ක්‍රියාවකි.
වනගත පෙදෙස් වල ඇති සුන්දරත්වය, ගංඟාවල මුණු මුණුව, කුරුළු කූජන, සඳ එළිය තැනිතලාවේ සිරියාව දකින්ට ලැබෙනවා පමක් නොව,
හිත මිතුරන් සමඟ සැප දුක බෙදාගැනීමක්වත් ඔහුට අත්දකින්ට නොලැබේ."

චින්තානි විභූති භූෂණයනි
ඔබලාටබෙහෙවින්ම තුති,
මට සිතුණු දේවල් ඔබලාගේ කෘති වල වඩා සුන්දම වූ අයුරින් ලීවාට.

(මෙය ලිවීමට සිතට ආවේ පොත යළි කියවීමට පෙරය.
මම පොත් තුනම රෑ 1.30 පමණ වන තෙක් අහැරගෙන කියවා ඉවර කරගත්තේ පෙරේදාද කොහෙද මයෙ හිතේ.)


Tuesday, October 11, 2011

අපූ, මම, සත්‍යවරණ යුගලප්‍රසාද් විභූති භූෂණ සහ සොබාව...

විභූති භූෂණ ගැන මා පට්ට ගසනවා වැඩිද මම නොදන්නෙමි.
මගේ බ්ලොගය සොබාව ගැන කතා කරන නිසා මට මොන සහිත්‍යයද යැයි ඔබට සිතෙනවාදැයි නොදනිමි.
ඒත් මේ ලිපියද කවුරුන් හරි කියවනු ඇත.
තවත් බ්ලොගයක් පවත්වා ගැණීම අපහසු නිසා මම මෙහිම මෙවන් දේද දමමි.
මට මේ බ්ලොගයේ ලිපි වර්ග දෙකකට බෙදීමට අවශ්‍යය වුවත් මම ඒ ක්‍රමය නොදනිමි.

මා කලින් කී පරිදි මට රසවිඳීමට මහා සුන්දර පරිසරයක් තිබුණේ නැත.
එහෙත් තිබුණු පරිසරය කොතරම් සුන්දරද?
මා හිතන පරිදි මට උපතින්ම ගෙන ආ කැලෑ උණක් ඇත.
එය හැමෝටම හැදෙන්නේ නැත.
එය නැති අය වෙලාවකට මා වැනි සොබාවට වසඟ වූ අය දකින්නේ පිස්සන් ලෙසය.
උදාහරණයකට මා යුධ පුහුණුවට ගිය දින වල මට සැමදා දැක පුරුදු තෙත් කලාපයේ පරිසරය වෙනුවට වියලි කලාපය රස විඳීමට ලැබුණි.
මා කරේ ඒ පරිසරයේ සිටි ඉන්ද්‍ර නීල පියාපත් ඇති ඕක් බ්ලූ සමනලයන් පසු පස යෑම හෝ ගස් වැල් කුරුල්ලන් දෙස බැලීමය.
ඇත්තෙන්ම ඒ කටුක පරිසරය චිත්‍රපටියක් මෙන් මායාකාරීය,
මට හැකි වුනොත් එය ඔබට අසන්නට දෙමි.
එහිදී මට ලැබුණු කාඩ් එක "බොළඳා" යන්නයි.
එයට නම් තවත් හේතු විය.
එය මෙතැන විස්තර නොකරමි.
තවද එක් සමයක් මා සා.පෙළ කරන කල,
එක්තරා කොල්ලෙකු පණ්ඩිතයෙක් මට "ගස් මාමා" යැයි නමක් පට බැන්දේය.
එය ඔහුට ලැබුණ අයුරු මම නොදනිමි.
(මටද තරහව ඇති වේ, මම ඔහුට සහ ඔහුගේ මිතුරාට ඉන් පසු කතා කලේ නැත, අද වන තෙක්.
ඒ අර නම කීම නිසාම නොව ඔහුගේ අනෙකුත් චර්යාද මට අල්ලන්නේ නැති නිසාය.)
එහෙත් මට ඒ වන විටද සම වයස් අය අතුරින් මා තරම් ගස් වැල් ගැන විද්‍යාත්මකව දැන සිටි කෙනෙක් නැතැයි මම සිතුවෙමි.
එය ටිකක් ලොකු වැඩි පුරසාරමක් නම් මා තව වසර දෙකක් එය ඉදිරියට ගෙන එමි.
 එවිටවත් එය සාධාරණ වෙනු ඇත.

මා කුඩා කල බසයේ යන විට අම්මාට වට පිට පෙන්නමි අම්මාගෙන් මොකක් හරි දැක්ක විට අම්මා "ඔව්" කියයි,
එහෙත් පසුව මට අම්මා හැම විටම එය නොදැක්ක බව වැටහිනි.
අම්මා සාධාරණය අම්මාට මට තරම් කැලෑ උණක් නැත,
අනික මම ඒ වන විට තරමක් ලොකුය.
ඒ නිසා මා පෙන්නන හැමදේ ගැනම බල බල යෑමට අම්මට නොහැකිය.

මම මේ ළඟදී සති දෙකකට පමණ පෙර ඒ පාරේ යන විටද අම්මට මොකක් හරි පෙන්වූයෙමි.
එවිට මට ඒ කතාව මතක් වී අම්මාට කීවෙමි අම්මා සිනාසුනාය. (මා ඒ කාලයේම අම්මාට "අම්මා බොරුවට නේද දැක්කා කීවෙ" යැයි කියා ඇත)

කෙසේ වුවද ඒ පාර දැන් වෙනස් වී ඇත,
මා කුඩා කල යාළුවෙකු සමඟ ප්‍රථම වරට මාළු ඇල්ලු දිය පාර කොන්ක්‍රීට් ගොඩකින් කැත කර ඇත.
මා ඇල්ලු මාළුවා වැලි ගොවුවෙකි(දැන් මැගේ දැනුමට අනුව ඌ බොහෝ විට Spotted Loach  කෙනෙක් විය හැක) මම ඌ ගේ පිටිපස වූ ටැන්කියට දැමූවෙමි.
මට ඒවන විට මේ වර්ගයේ මාළුන්ට ගලා නොයන ජලයේ සිටිය නොහැකි බව නොවැටහුනි.
(මා එවිට දෙකේ හෝ තුනේ පන්තියක සිටියෙමි.)
ඌ පසුදින මියගොස් සිටියේය.
ඔහු සමඟ කොට්ටම්බා ඇහිලූ ගස කපා දමා ඇත.
අපි වතුර ගත් නල ළිඳ පමණක් ඉතිරිය.
මම එයින් වතුර බීවෙමි.
එය තවම හොඳට ඇත.
තවද ඒ මගේම කුඹුක් ගසක් මුල පුංචි ලස්සන ළිඳක් විය.
එය දැන් එතැන නැත, එතන කොන්ක්‍රීට් ළිං බට වැඩපොලකි.
මගේ යාළුවාද පසුදාක මට හමු විය,
ඔහු වෙනස් වී ඇති අයුරු නොකීමම හොඳය.

අනිත්‍යයතාවට හසු නොවන්නේ කුමක්ද?
අතීත කතා ලියන්න ගියොත් එය මටද කෙල්වර කරගත නොහැකි වනවා ඒ නිසා එය මෙතනින් නවතමි.

අපූ මට වඩා බෙහෙවින්ම කැලෑ උණ කාරයෙක්ය.
අපි දෙන්නාම උපන්ගේ කැලෑ පිස්සෝය.
එහෙත් ඔහු සුන්දරම සුන්දර ගැමි නොදියුණු පරිසරයක උපත් ලැබුවේය.
අවුරුදු ගණනාවක දුක් කම්කටොළු වලටද ඔහුගේ කැලෑ පිස්සුව හොඳ කිරීමට නොහැකි විය.
(මම එය හොඳ කරගැනීමට යත්න දරමි,එහෙත් තවම බැරි වුනි, සොබා මවට මා වැනි පුතෙක් පුංචි දෙයක් පෙන්නා හුරතල් කර වඩා ළයේ හොවා ගැනීම ඉතා පහසුය, ඒ නිසා ඒ පිස්සුව කවදා නම් සුව වේදැයි මම නොදනිමි.)
ඔහුටද මට මෙන්ම යාළුවෝ විසුළු කරෝය,
ඔහු ගස් වැල් ගැන විස්තර ලියන විට උඹට නම් පිස්සු කීවෝය.
අපුගේ ක්‍රියාකලාපය තේරුණේ බෙහෙවින්ම සුළු පිරිසකටය.
තවද මමද අපූ මෙන්ම තරු පිරි අහසට බෙහෙවින්ම ප්‍රිය කළෙමි.
මම ක්ෂීරපථය පෙණෙන සුන්දර ස්ථාන දැක ඇත්තේ එක වරක් පමණි.
මට ඒ අත්දැකීම වසර 6කට පමණ පසුත් තවමත් සිත මිහිරෙන් පුරවන එකකි.
අපේ ගෙදර වහලය මට හැමදාම කරදරයක් විය,
මට ලොකූ අහසක් බැලීමට තිබුණ බාධකය එය විය.
මට වහලයේ නිදාගෙන අහස බැලීමට ඕනෑ විය.
එහෙත් එය කිරීම නොහැකි විය, අපේ වහලය අනතුරුදායකය.
අරණකට පෙම්බැඳි සත්‍යවරණ අපි මෙන් උපන්ගේ කැලෑ පිස්ස්කෙ නොවූයේය.
ඔහු සොබවේ මායාවට අසු වී වශීකෘත වූයෙකි.
එහෙත් ඔහු අපට වඩා එක අතකට වාසනාවන්තය එක අතකට අවාසනාවන්තය.
වාසනාවන්ත වූයේ පොත තුල ගෙවූ ඔහුගේ අවුරුදු හයක කෙටි ජීවිතයේ ඔහු ඇති තරම් සොබාව වින්ද නිසාය.
ඔහු අවාසනාවන්ත වූයේ ඒ සොබාවම ඔහුගේ මැදිහත් වීම මැද විනාස වී ගිය නිසාය.
ජීවිතයේ ඉතිරි කාලය ඔහු ඒ ගැන සිතමින් පසුතැවිලි වුනේ ඒ නිසාය.
යුගල ප්‍රසාද්ද අමුතු ආකාරයේ උපන්ගේ කැලෑ පිස්සෙකි.
ඔහුට තිබුණ උණ අපිටත් වඩා (වෙසෙසින්ම මට වඩා)
ශ්‍රේෂ්ටය, ඔහුට ඕනෑ වුනේ අනුන්ගේ හෝ බිමක ගස් වැල් හිටවීමය.
මට ගස් වැල් හිටවීමේ උණ උපතින්ම ආවත් අනුන්ගේ හෝ බිමක් එයට හමු වුනේ නැත.
අම්මාද ඇගේ උරුමය සහොදර පෙම නිසා නාස්තිකාරයෙකුට පවරා මගේ උරුමය නැති කළාය.
එහෙත් මට සිතෙන්නෙ දැන් මම අනුන්ගේ හෝ තැනක ගස් සිටවිය යුතු බවය.
එහෙත් මගේ හිතේ ඇති සකෙලෙස් බව නිසාදෝ ඒ ගස් වලට දිගු කලකින් හෝ යන කලදසාව ගැන හිතෙන විට ගස් සිටුවීමට ඇති ආසාව උකටලී බවට පෙරලෙයි.
විභූතිභූෂණ අප සියළු දෙනාටම වඩා කැලෑ පිස්සෙක්, දක්ෂ කලා කරුවෙකි.
මම ඔහුගේ පොත් තරම් විශිෂ්ට නවකතා කියවා නැතැයි දැන් දැන් මට සිතෙයි.
ඒ තරම් ඒවා සාරවත්ය.
එහෙත් ඔහුගේ එක් උපමාවක් මමද කලින් වෙන ආකරයකට ලියා ඇති බව මට නැවත් ඒ පොහ් කියවන විට වැටහුනි.
මට සිතුණේ සොබාවට පෙම්බඳින හැමටම එකම අයුරකට දෙයක් පෙනී යා හැකි බවය.
එය විස්තර කිරීමට අප සිටින කාල්ය හෝ දේශය බලපාන්නේ නැත.
කෙසේ වුවද මම ඔහුගේ ළඟින්වත් තියන්නට නොහැක.
ඔහුගේ ලියමන් කියවන විට මට සිතෙන්නෙ එක්කෝ ඔහු හිතාමතාම මේවා මේ තරම් සුන්දරව ලීවා කියාය.
ඔහුගේ ලිවීමේ රහස් මට ටිකක් හෙලි වී ඇත.
ඔහු කිසිදාක ඔහු බෙංගාලයේ සිට ලියූ ඒ කතා වල රහස් දශක ගණනාවකට පසු ලංකාවේ කොල්ලෙකු තේරුම් ගනීවියැයි කිසිදා නොසිතන්නට ඇත.
අහඹු ලෙස මතක් වූ චින්තා ලක්‍ෂමියනි ඔබ නොවන්නට මට ඒ රහස් හෙලි නොවන්නේය, ඔබට අනේක වාරය තුති.
කෙසේ වෙතත් මට සිතෙන පරිදි මා ලෞකිකත්වය ලියැවුන පොත් වලින් වෙනත් පොත් ටිකකට මේ තරම් පිස්සු වැටේ යැයි මට නොසිතේ.
පැය දෙකක් හෝ එක හමාරක් එකදිගට ටයිප් කළ ලිපිය දිග වැඩිදයි නොදනිමි.
එහෙත් මට මේ ගැනම බ්ලොගයක් ලිවිය හැකියැයි මට හැඟේ.
විභූතිභූෂණයනි ඔබටත් අනේක වාරයක් තුති.

අවසන් වශයෙන් මම ළඟදී සිතීමට සිතුනු සිදුවීමකින් කතාව නවතමි.
බාලාංශයේ ළමයෙක් ලංගම බසයක් ගියර් පෙට්ටිය ළඟ අසුනේ යමින් සිටියේය.
අහෝ වාහන, දුම් රොටු, දූවිලි, බැනර්, බෝඩ් පිරි පරිසරය දකිමින් උදේ පාන්දර ගමේ සිට පාසලට යන හවස ක්ලාස් යන තෙරපෙන ළමයා කිසිදාක අපි මෙන් කැලෑ උණ කාරයෝ වෙයිද?






Sunday, October 9, 2011

අල මැස්සා....


අපෙ ගෙදර පිටිපස්සෙ වැටක් තියනවා,
මේක ජීව වැටක් නෙවේ.
කොලපාට දැල් ගහපු යකඩ වැටක්.
මේකත් ජීව කරලා තීයන්නෙ අල වැල් (Dioscorea sp)සහ     කෝවක්කා (Coccinia grandis) වැල්.
ඊට අමතරව මේකෙ තිබුනා ලංකා කඩල සහ මෑකරලුත්, දඹලත්.
දැන් නම් මෙහෙට පෑවිල්ල.
කෝවක්ක සහ අල විතරයි ඉන්නෙ.
කෝවක්කා මල
ඉතින් අල මැස්සා එන්නෙ මේ වැටට තමා.
අල මැස්සා කියන්නෙ ලස්සන සමනලයෙක්,
Yamfly -Loxura atymnus උට තියනවා සුලබ නොවන හැඩයක්.
Yam = අල Fly = මැස්සා
අල මැස්සා



ලංකා කඩල වැල වලින් යුෂ බොන අල මැස්සො

මෙයාගෙ ධාරක ශාකය තමා වැල් අල,
අල වැලේ ළපටිම කොටසෙ, ඒ කියන්නෙ දල්ලෙ ඇවිත් බිත්තර දානවා.
ඒකෙන් එලියට එනවා පොඩීම පොඩි දළඹුවෝ.
මේ අය තමා ලොකු වෙලා ලස්සන අල මැස්සෙක් වෙන්නෙ.
මම ලංකා කඩල හැදුවෙත් මේ අල මැස්සාටම තමා, ඌ ගොඩක් කැමතියි ලංකා කඩල වල පුරුක් වලින් එන යුෂය බොන්න,
ඒ කූඹි යාලුවොත් එක්ක.
මම මේ සතාට ගොඩක් කැමතියි අපෙ ගෙදර ඉන්නව කියල දැන ගන්නත් කලින්.
මේ සතා වැඩියෙන්ම ලස්සන තටු දිගෑරගෙන අවුව තපිනකොට
(එහෙම ෆොටෝ එකක් තියන්වද මන්දා මගෙ ගාව)
ඉතින් ගෙදර අල වැල් ටිකක් හදලා බලන්න.
අල මැස්සා එන්න පුළුවන්.


දැන් බලමු අපිට මේකෙන් ගන්න පුළුවන් දේවල්.


1.ජීව වැට- Live Fence
මේක මිනිස්සු අතරින් ඈත් වෙලා යන දෙයක් දැන්.
අවශ්‍යතාවක් නැතුවත් කොන්ක්‍රීට් වැටවල් දානවා.
මේ පින්තූරෙ තියන්නෙ එහෙම අවස්තාවක්.
අපෙ අත්තම්මලාගෙ ගෙදර සහ ඒ ඉස්සරහ ගෙවල් දෙකේම තිබුනෙ ජීව වැටවල්.
බට පඳුරු සහ ගඟවැරැල්ල (Phyllanthus myrtifolius) වලින් හැදුන.
ගඟවැරැල්ල කියන්නෙ හරිම ලස්සන ශාකයක්.
මේක ආවේණික ශාකයක්,
මෙහෙම වැටවල් වලට පාවිච්චි කරපු නිසා ඉබේම ආරක්ෂා වුනා හෙවත් හරිම විදිහට කියනව නම් සොබාවික පරිසරයෙන් පිට සංරක්ෂණය වුනා (Ex- situ conservation).
ජීව වැටවල් නැතිවෙලා ගිහින්
මම මාතර ගිහාම දැකගන්න හම්බුනා අපූරු ජීව වැටක්.
මේක නම් හවසට පුදුම සුවඳ හමනවා ඇහි.
මේක හැදිලා තිබුනේ ගාඩිනියා ගස් (Gardenia jasminoides)වලින්.
ගාඩිනියා 
අපිට පුළුවන් අජීවී වැටක් වුනත් ජීව  කරන්න.
ඒ ගස් වැල් හදලා.
මම වැටේ හැදුව මෑකරල් හැදුවෙ අපෙ බත් ලෑල්ලට එන ගිරවුන්ට කන්න.
උන් හරිම ලස්සනයි බත් කනකොට.

එතකොට අල වැල් හොඳ ආහාරයක්.
ඉදිරියට එන ආහාර හිඟ වලදී මේක ගොඩක් වැදගත් වෙයි,

කෝවක්කා දියවැඩියාවට හොඳ බෙහෙතක්, මැල්ලුම්, කැඳ වලට යොදාගන්න ඕන.
මේ ළඟදි අපෙ ගෙදරට ඒව ඉල්ලගෙන ආපු ගෑනු කෙනෙක් කීවෙ ඒක තුවාල වලටත් තලලා දානවා කියලා.
ඒ වගෙම පැරණි කවියෝ කාන්තාවන්ගෙ (ඉස්සර කාලෙ හිටපු)
තොල් දැකලා ඒ ගෙඩි විලියෙන් ඇඹරෙනවා කීවනෙ.
ඒවා හරිම ලස්සනයි රතු පාටයි ඉදුනම, මල් හරි ලස්සනයි සුදු පාටයි, 
මේ වැල අප්පච්චි ගෙනත් හිටෙවුවෙ, මේවා අපෙ පැත්තෙ නෑ.

2.දේශීයත්වයට නැඹුරු වීම.
මේ උඩින් කියපු ඔක්කොම ඒවා තමා,
අල, කොල, කරල් ගෙදරදිම ලබා ගන්න පුළුවන් අපේ දේශීය ඒවම.
ඉඩකඩ  අඩු කෙනෙක්ට වගා කරන්න හොඳ තැනක්.

3.ජෛව විවිධත්වය වැඩි කරගැනීම.
මේ දෙවල් මගින් අපිට වගේම සතුන්ටත් ආහාර සහ වාසස්ථාන ලැබෙනවා.






වඳුරු මෑ


Common Cerulean 






අළුත උපන් Common Cerulean කෙනෙක්




අවර 
මේකට එකතු කරන්න පින්තූර හොයන්න පරිගණකේ පීරද්දි හම්බුනේ මේ අන්තිම ෆොටෝ ටික.
උඩම තියන්නෙ වඳුරු මෑ (Mucuna puriens) , වැටේ මුල්කාලීන සාමාජිකයෙක්.
අවර (Canavilia gladiata) කියන්නෙ මුල්ම සාමාජිකයද කොහෙද,
වඳුරු මෑ වැල හොඳට සරුවට හැදෙනවා, මල් හරිම ලස්සනයි.
ඒත් ඉතින් මේ දෙකම අපිට කන්ට අමාරුයි.
වඳුරු මෑ අපෙ මහ වෙදනාගෙ කැමති ක්ෂේත්‍රයට අදාලයි.

Common Cerulean  (Jamides celeno )  කියන්නේ මේ වඳුරු මෑ වල බිත්තර දාන්න ආපු සමනලයෙක්.
මෙයා නම් ගොඩක් සුළබයි.  මෑ කරල්, බෝංචි වගේ රනිල ශාක බොහොමයක බිත්තර දානවා.
කොහොම වුනත් සමනල්ලු ඉන්න එක ලස්සනයිනෙ.

අන්තිමට පස්සෙ දාන්නම් කියල හිටිය එකකුත් දාන්නම් කියල හිතුවා.
ආය දාන්න හම්බුනේ නැත්තං.
පොඩි ළමයි එක්ක මේ වගේ වැටක් ගාව හිටියත් ගොඩක් දේවල් කියල දෙන්න පුළුවන් පරිසරේ ගැන.
මේ ඉන්නෙ පනින මකුළුවෙක් (Jumping Spider) මේ අය දැල් බඳින්නෙ නෑ,
හැංගිලා ඉඳලා පහරදීම හෙවත් ගරිල්ලා පහරදීම් තමා කරන්නෙ.
(සමනලයා ඉස්සල්ලා එකාම තමා, මේ ඉන්නෙ කෝවක්කා වැලේ.)
ඒ අනුව පේනවා පොඩි දෙයකින් කොච්චර නම් ජෛව විවිධත්වය වැඩි වෙනවද කියලා.

   
මේක දිග වැඩි වුනාද මංදා...
කමක් නෑ.
මේ අර කලින් එක වගේම ඊටත් වඩා දිග එකක්නෙ.
කියවූ ඔබ සැමට වඩා ගෙදර වැටේ මෑකරල් වැලක් හදන්න සිතූ ඔබ සැමට ස්තුතියි.


විශේෂ ස්තූතිය වඳුරු මෑ වල විද්‍යාත්මක නම කියාදුන් ආචාර්ය අසංග සංජීව විජේතුංග සර් ට.