Thursday, October 13, 2011

පොඩි එකාව ලොකු ඉස්කොලෙකට දාගන්න ඕන....



මා පසුගිය ලෝක ළමා දිනයේදී අපේ අම්මා උගන්වන පාසැලට ගියේ එහි දුප්පත් පොඩිවුන්ට ළමා චිත්‍රපටියක් පෙන්වීමටය.
ජාතිකයේ ගිය පුංචි ඉත්තෑවා (The Little Hedgehog) චිත්‍රපටිය අවම පහසුකම් යටතේ වුව සාර්ථකව පෙන්වා අසීමිත සතුටක් භුක්ති විඳිමට හැකි විය.
මගේ අදහස වූයේ Fantastic Mr. Fox පෙන්වීමට වුවත්,
එය පසුව සාකඡ්චා මඟින් Robots බවටද ජනතාවගේ ඉල්ලිම මත පුංචි ඉත්තෑවා බවටද පත්විය.

අම්මාගේ පාසල දුප්පත් එකකි.
මගේ මුල්ම පාසල වූයේද පොඩි එකකි, මම අම්ම සමඟ ඒ පාසලට ගියේ මහගෙදා ළඟම පාසල එය වූ හෙයින් සහ අම්මා එහි උගැන්වූ කළ නිසාය.
(අපෙ අම්මා හැමදාම ගියේ පොඩි දුප්පත් ළඟපාත් පාසල් වලටය, ඒ නිසා අපිට කරදරයක් නැතුව ඉඳීමේ වාසනාව උදා විය )
එහෙත් මට එහේදී වැටහුන දෙය නම් දරුවෙකුට ඉගෙනීමට සුදුසුම පරිසරයක් ඇත්තේ ගමේ බවයි.
උකුස්සා - Crested Serpent Eagle
දෙමලිච්චා - Seven Sisters/ Common Babler 
ආදී පක්ෂීන්ගේ නාදය පරිසරය සුන්දර කරමිනි තිබිණි.
පාසලට පහල මායිමේ කුඩා දිය පහරක්ද, වෙල් යායක්ද විය.
ඒ දිය පහර මට නම් කුඩා වුවත් සුන්දර විය,
එහි ගස් පර්ණාංග (Tree Ferns - Cyathea sp)පවා තිබිණි.
එතැනද ආක්‍රමණික ශාක තිබුණද, මට සිතුනේ අතීතයේ මේ පෙදෙස් වල කෙතරම් සුන්දරත්වයක් තිබෙන්නට ඇත්ද යන්නයි.

පාසලේ පොඩිවුන්ට කන වැකෙන්නේ මේ කුරුළු ගී හඬයි,
පෙනෙන්නේ මේ සුන්දර පරිසරයයි.
මම දිනක් දුටුවේ (සවස 3ත් පසුවී )නුවර සිට අපි සිටින තැනටත් වඩා එනම් රුපියල් විසි දෙකකටත් වඩා බොහෝ දුර යන පෙර පාසල් ළමයෙකි.
ඔහුව වඩාගෙන ඔහුගේ අම්මා ඔහුට පොඩි පහරක් දුන්නේය.
ඒ ක්‍රීම් පාට ජාත්‍යන්තර පෙරපාසල් ඇඳුමකින් සැරසී සිටි දරුවා නොනවත්වා අඬන හෙයිනි.
මේ දරුවා උදේ 6 පමණ සිටම මේ පෙර පාසලේ ඉන්නට ඇතැයි මට සිතුනි.
අනේ මේ දරුවාට කොයින්ද පරිසරය දකින්න අහන්න  හෝ ඒ නැතත් අම්මා හෝ වැඩිහිටියන් සමඟ ඉන්නට අවස්ථාවක්?
අනේ මම කෙතරම් වාසනාවන්ත්දැයි මට සිතුනි.
ඇත්තට මට පොඩි කාලයේම නගරයේ ලොකු පාසලකට යෑමට නොලැබීම මගේ වාසනාවකැයි මට සිතේ.
අපෙ අම්මා මාව පෙර පාසල් යැවුවේද නැත, ඒ වෙනුවට මාව පාසලට ගෙන ගොස් එක වසරේ පන්ති වල තැබුවාය.(මෙය නම් ගුරු පුතෙක් වීමේ ප්‍රතිලාභයකි)
පාසල් යෑමට පෙරම අම්මා මට පාඩම් කියා දුන්නාය.
මට දැන් හිතෙන්නේ දැන් මගේ හිතට එන මේ සොබාව කෙරෙහි උපදින පෙම, අපේ අම්මාට පින් සිද්ද වෙන්ට ආව දෙයක් බවය.
ඇත්තටම මම තවමත් මගේ පළමු පාසලට පෙම් කරමි.
මට වසර ගණනාවක සිට සිතෙන්නේ එය බැලීමට යායුතු බවය, එහෙත් එය තවමත් කරගත් හැකි නොවිය.
ඒ පාසල ගැන සුන්දර මතක තවම මගේ හිතේ ඇත.
ඒවා පසුව ලියමි.
කෙසේ වෙතත් මට හිතෙනා පරිදි ගම තරම් දරුවෙකුට ඉගනීමට සුදුසු තැනක් තවත් නැත.
නොනවතින තරඟය සහ පහසුකම් විෂමතාව එයට බාධා කරත්.
මට හිතෙනා හැටියට, ළමයාගේ දියුණුවට පාසලම බලනොපායි.
පරිසරය රසවිඳින්නට හෝ අම්මා, අත්තම්මා ඇසුරේ සිටීමට හෝ නොහැකි නම් කුමටද මහ පාසැල් වලට ගොස්?
අන්තිමට ඉතුරු වෙන්නේ ටවුමේ දූවිල්ලට සහ ඝෝෂාවටත්, උදේ සිට පාසල් වෑන් හෝ බස් වල නිදි කිර කිර ගිය දරුවෙක් පමණක් වීමට ඉඩ වැඩිය.
පාසල් සහ ආකල්ප යන දෙකම තවත් දියුණු වූ විට.
සුන්දර දරුවන් තව තවත් බිහි වෙනු ඇත.

(මගේ පැරණි ලිපියක මගේ සොබා පෙම වැඩුමට අම්මාගේ දායකත්වයට තවත් එක්කිරීමට මතක් වී අමතක් වූ එකක් එක් කරමි.
අපෙ අම්මා සහ මම ඉස්සර බොහෝ කැමති රෑට ලයිට් යනවාටා.
ඒ පාඩුවේ අහස බැලීමටය.
දිනක් මම එක වසරේ හෝ ඊටත් අඩු වයසේදී එක් දිනක් ලයිට් ගිය විට,
අම්ම මා සමඟ ගොස් කදිම සඳ ඇති රැයක් පෙන්වූවා මට තවම මතකය්.
එවිට ගේ ළඟ චීන තණකොල පඳුරු දෙසට සර්පයෙකු ඇදී යනවා දුටු අපි බයවීමු.
ඒත් ඒ පඳුරු වලට අපි පොල්ලකින් ගැසූ බව මතකය.
හොඳ වෙලාවට ඌ මැරෙන්නට නැතුව ඇතැයි මම සිතමි මොකද උගේ නැට්ටවත් එවිට තියන්නට නැතුව ඇත.
එහෙම වුනා නම් අත්දැකීම කැත වේ.
දැන් මගේ දැණුමට අනුව ඌ දැක්වූ චර්යාවට අනුව ඌ අහිංසකයෙකි.)

"Mage profile pic 1 elada?... Mama you ge blog 1 piyasathan kiyewwata passe man gawa thiyagena hitapu me 4to 1 damma. thnx mathakaya awadi karanawata. you ta AL iwara wenakam thibuna senahasa mata grade 6 walin nethiuna. ekai godak ma duka hithune. dan unath gedara giyuath weda wdi nisa hariyata katha karannawath welawak ne. dan gedara yanneth mas 1 ta sarayak wage."

මේ මගේ මිතුරෙක් පිය සටහන් කියවා එවූ පණිවිඩයකි.
මේ කියන ෆොටෝ එක ඔහු සහ ඔහුගේ අම්මා එකට ඉන්න එකකි.
ඔහුටද ගම හැර ශිෂ්‍යත්වයෙන් නුවර එන්න විය.
එහි වරදක් නැත.
එහෙත් මට හිතෙන්නේ මගේ යාළුවා පවු කියාය,
6 වසරේ පොඩි එකෙක් ගෙදර හැර තනියම නාදුනන පළාතක සිටීම
ඒ ළමයාගේ හිතට කුමන අයුරක දෙයක් ගෙනාවාදැයි මම නොදනිමි.
මේ දේවල් ගැන අපි සිතනවාට වඩා ගැඹුරට සිතිය යුතුය.
අවසන් වශයෙන් මම අපූව නැවත් ඇදගමි.
මේ අපූ චින්තනයෙන් (විභූති භූෂණයන් නිමැවූ)
බිඳකි
287 සහ294 පිටුවල සිට ඉදිරියට කියවන්න..
මේ එක් කොටසකි.
"මේ එක් දින රාත්‍රියේ අපූට සිතුණේ ඔහු කාජල්ට ලොකු අසාධාරණයක් කරන බවය.
කාජල්ගේ වටිනාකම මිල කළ නොහැකි ළමා වියේ දී ඔහු කොන්ක්‍රීට් හා සිමෙන්හි වලින්ද බාර්ඩ් කොම්පඇනියේ පෙටන්ට් ගල් වලින්ද බඳින ළද සිපිරිගෙයක සිරකොට තබා ගෙන ඔහුගේ ළපටි උනන්දු සහගත සිහින මවන ළමා මනස විචිත්‍රභාවයෙන්  තොට පහත් අනුභූතියකින් පුරවා තැබීම අවිචාරවත් ක්‍රියාවකි.
වනගත පෙදෙස් වල ඇති සුන්දරත්වය, ගංඟාවල මුණු මුණුව, කුරුළු කූජන, සඳ එළිය තැනිතලාවේ සිරියාව දකින්ට ලැබෙනවා පමක් නොව,
හිත මිතුරන් සමඟ සැප දුක බෙදාගැනීමක්වත් ඔහුට අත්දකින්ට නොලැබේ."

චින්තානි විභූති භූෂණයනි
ඔබලාටබෙහෙවින්ම තුති,
මට සිතුණු දේවල් ඔබලාගේ කෘති වල වඩා සුන්දම වූ අයුරින් ලීවාට.

(මෙය ලිවීමට සිතට ආවේ පොත යළි කියවීමට පෙරය.
මම පොත් තුනම රෑ 1.30 පමණ වන තෙක් අහැරගෙන කියවා ඉවර කරගත්තේ පෙරේදාද කොහෙද මයෙ හිතේ.)


Tuesday, October 11, 2011

අපූ, මම, සත්‍යවරණ යුගලප්‍රසාද් විභූති භූෂණ සහ සොබාව...

විභූති භූෂණ ගැන මා පට්ට ගසනවා වැඩිද මම නොදන්නෙමි.
මගේ බ්ලොගය සොබාව ගැන කතා කරන නිසා මට මොන සහිත්‍යයද යැයි ඔබට සිතෙනවාදැයි නොදනිමි.
ඒත් මේ ලිපියද කවුරුන් හරි කියවනු ඇත.
තවත් බ්ලොගයක් පවත්වා ගැණීම අපහසු නිසා මම මෙහිම මෙවන් දේද දමමි.
මට මේ බ්ලොගයේ ලිපි වර්ග දෙකකට බෙදීමට අවශ්‍යය වුවත් මම ඒ ක්‍රමය නොදනිමි.

මා කලින් කී පරිදි මට රසවිඳීමට මහා සුන්දර පරිසරයක් තිබුණේ නැත.
එහෙත් තිබුණු පරිසරය කොතරම් සුන්දරද?
මා හිතන පරිදි මට උපතින්ම ගෙන ආ කැලෑ උණක් ඇත.
එය හැමෝටම හැදෙන්නේ නැත.
එය නැති අය වෙලාවකට මා වැනි සොබාවට වසඟ වූ අය දකින්නේ පිස්සන් ලෙසය.
උදාහරණයකට මා යුධ පුහුණුවට ගිය දින වල මට සැමදා දැක පුරුදු තෙත් කලාපයේ පරිසරය වෙනුවට වියලි කලාපය රස විඳීමට ලැබුණි.
මා කරේ ඒ පරිසරයේ සිටි ඉන්ද්‍ර නීල පියාපත් ඇති ඕක් බ්ලූ සමනලයන් පසු පස යෑම හෝ ගස් වැල් කුරුල්ලන් දෙස බැලීමය.
ඇත්තෙන්ම ඒ කටුක පරිසරය චිත්‍රපටියක් මෙන් මායාකාරීය,
මට හැකි වුනොත් එය ඔබට අසන්නට දෙමි.
එහිදී මට ලැබුණු කාඩ් එක "බොළඳා" යන්නයි.
එයට නම් තවත් හේතු විය.
එය මෙතැන විස්තර නොකරමි.
තවද එක් සමයක් මා සා.පෙළ කරන කල,
එක්තරා කොල්ලෙකු පණ්ඩිතයෙක් මට "ගස් මාමා" යැයි නමක් පට බැන්දේය.
එය ඔහුට ලැබුණ අයුරු මම නොදනිමි.
(මටද තරහව ඇති වේ, මම ඔහුට සහ ඔහුගේ මිතුරාට ඉන් පසු කතා කලේ නැත, අද වන තෙක්.
ඒ අර නම කීම නිසාම නොව ඔහුගේ අනෙකුත් චර්යාද මට අල්ලන්නේ නැති නිසාය.)
එහෙත් මට ඒ වන විටද සම වයස් අය අතුරින් මා තරම් ගස් වැල් ගැන විද්‍යාත්මකව දැන සිටි කෙනෙක් නැතැයි මම සිතුවෙමි.
එය ටිකක් ලොකු වැඩි පුරසාරමක් නම් මා තව වසර දෙකක් එය ඉදිරියට ගෙන එමි.
 එවිටවත් එය සාධාරණ වෙනු ඇත.

මා කුඩා කල බසයේ යන විට අම්මාට වට පිට පෙන්නමි අම්මාගෙන් මොකක් හරි දැක්ක විට අම්මා "ඔව්" කියයි,
එහෙත් පසුව මට අම්මා හැම විටම එය නොදැක්ක බව වැටහිනි.
අම්මා සාධාරණය අම්මාට මට තරම් කැලෑ උණක් නැත,
අනික මම ඒ වන විට තරමක් ලොකුය.
ඒ නිසා මා පෙන්නන හැමදේ ගැනම බල බල යෑමට අම්මට නොහැකිය.

මම මේ ළඟදී සති දෙකකට පමණ පෙර ඒ පාරේ යන විටද අම්මට මොකක් හරි පෙන්වූයෙමි.
එවිට මට ඒ කතාව මතක් වී අම්මාට කීවෙමි අම්මා සිනාසුනාය. (මා ඒ කාලයේම අම්මාට "අම්මා බොරුවට නේද දැක්කා කීවෙ" යැයි කියා ඇත)

කෙසේ වුවද ඒ පාර දැන් වෙනස් වී ඇත,
මා කුඩා කල යාළුවෙකු සමඟ ප්‍රථම වරට මාළු ඇල්ලු දිය පාර කොන්ක්‍රීට් ගොඩකින් කැත කර ඇත.
මා ඇල්ලු මාළුවා වැලි ගොවුවෙකි(දැන් මැගේ දැනුමට අනුව ඌ බොහෝ විට Spotted Loach  කෙනෙක් විය හැක) මම ඌ ගේ පිටිපස වූ ටැන්කියට දැමූවෙමි.
මට ඒවන විට මේ වර්ගයේ මාළුන්ට ගලා නොයන ජලයේ සිටිය නොහැකි බව නොවැටහුනි.
(මා එවිට දෙකේ හෝ තුනේ පන්තියක සිටියෙමි.)
ඌ පසුදින මියගොස් සිටියේය.
ඔහු සමඟ කොට්ටම්බා ඇහිලූ ගස කපා දමා ඇත.
අපි වතුර ගත් නල ළිඳ පමණක් ඉතිරිය.
මම එයින් වතුර බීවෙමි.
එය තවම හොඳට ඇත.
තවද ඒ මගේම කුඹුක් ගසක් මුල පුංචි ලස්සන ළිඳක් විය.
එය දැන් එතැන නැත, එතන කොන්ක්‍රීට් ළිං බට වැඩපොලකි.
මගේ යාළුවාද පසුදාක මට හමු විය,
ඔහු වෙනස් වී ඇති අයුරු නොකීමම හොඳය.

අනිත්‍යයතාවට හසු නොවන්නේ කුමක්ද?
අතීත කතා ලියන්න ගියොත් එය මටද කෙල්වර කරගත නොහැකි වනවා ඒ නිසා එය මෙතනින් නවතමි.

අපූ මට වඩා බෙහෙවින්ම කැලෑ උණ කාරයෙක්ය.
අපි දෙන්නාම උපන්ගේ කැලෑ පිස්සෝය.
එහෙත් ඔහු සුන්දරම සුන්දර ගැමි නොදියුණු පරිසරයක උපත් ලැබුවේය.
අවුරුදු ගණනාවක දුක් කම්කටොළු වලටද ඔහුගේ කැලෑ පිස්සුව හොඳ කිරීමට නොහැකි විය.
(මම එය හොඳ කරගැනීමට යත්න දරමි,එහෙත් තවම බැරි වුනි, සොබා මවට මා වැනි පුතෙක් පුංචි දෙයක් පෙන්නා හුරතල් කර වඩා ළයේ හොවා ගැනීම ඉතා පහසුය, ඒ නිසා ඒ පිස්සුව කවදා නම් සුව වේදැයි මම නොදනිමි.)
ඔහුටද මට මෙන්ම යාළුවෝ විසුළු කරෝය,
ඔහු ගස් වැල් ගැන විස්තර ලියන විට උඹට නම් පිස්සු කීවෝය.
අපුගේ ක්‍රියාකලාපය තේරුණේ බෙහෙවින්ම සුළු පිරිසකටය.
තවද මමද අපූ මෙන්ම තරු පිරි අහසට බෙහෙවින්ම ප්‍රිය කළෙමි.
මම ක්ෂීරපථය පෙණෙන සුන්දර ස්ථාන දැක ඇත්තේ එක වරක් පමණි.
මට ඒ අත්දැකීම වසර 6කට පමණ පසුත් තවමත් සිත මිහිරෙන් පුරවන එකකි.
අපේ ගෙදර වහලය මට හැමදාම කරදරයක් විය,
මට ලොකූ අහසක් බැලීමට තිබුණ බාධකය එය විය.
මට වහලයේ නිදාගෙන අහස බැලීමට ඕනෑ විය.
එහෙත් එය කිරීම නොහැකි විය, අපේ වහලය අනතුරුදායකය.
අරණකට පෙම්බැඳි සත්‍යවරණ අපි මෙන් උපන්ගේ කැලෑ පිස්ස්කෙ නොවූයේය.
ඔහු සොබවේ මායාවට අසු වී වශීකෘත වූයෙකි.
එහෙත් ඔහු අපට වඩා එක අතකට වාසනාවන්තය එක අතකට අවාසනාවන්තය.
වාසනාවන්ත වූයේ පොත තුල ගෙවූ ඔහුගේ අවුරුදු හයක කෙටි ජීවිතයේ ඔහු ඇති තරම් සොබාව වින්ද නිසාය.
ඔහු අවාසනාවන්ත වූයේ ඒ සොබාවම ඔහුගේ මැදිහත් වීම මැද විනාස වී ගිය නිසාය.
ජීවිතයේ ඉතිරි කාලය ඔහු ඒ ගැන සිතමින් පසුතැවිලි වුනේ ඒ නිසාය.
යුගල ප්‍රසාද්ද අමුතු ආකාරයේ උපන්ගේ කැලෑ පිස්සෙකි.
ඔහුට තිබුණ උණ අපිටත් වඩා (වෙසෙසින්ම මට වඩා)
ශ්‍රේෂ්ටය, ඔහුට ඕනෑ වුනේ අනුන්ගේ හෝ බිමක ගස් වැල් හිටවීමය.
මට ගස් වැල් හිටවීමේ උණ උපතින්ම ආවත් අනුන්ගේ හෝ බිමක් එයට හමු වුනේ නැත.
අම්මාද ඇගේ උරුමය සහොදර පෙම නිසා නාස්තිකාරයෙකුට පවරා මගේ උරුමය නැති කළාය.
එහෙත් මට සිතෙන්නෙ දැන් මම අනුන්ගේ හෝ තැනක ගස් සිටවිය යුතු බවය.
එහෙත් මගේ හිතේ ඇති සකෙලෙස් බව නිසාදෝ ඒ ගස් වලට දිගු කලකින් හෝ යන කලදසාව ගැන හිතෙන විට ගස් සිටුවීමට ඇති ආසාව උකටලී බවට පෙරලෙයි.
විභූතිභූෂණ අප සියළු දෙනාටම වඩා කැලෑ පිස්සෙක්, දක්ෂ කලා කරුවෙකි.
මම ඔහුගේ පොත් තරම් විශිෂ්ට නවකතා කියවා නැතැයි දැන් දැන් මට සිතෙයි.
ඒ තරම් ඒවා සාරවත්ය.
එහෙත් ඔහුගේ එක් උපමාවක් මමද කලින් වෙන ආකරයකට ලියා ඇති බව මට නැවත් ඒ පොහ් කියවන විට වැටහුනි.
මට සිතුණේ සොබාවට පෙම්බඳින හැමටම එකම අයුරකට දෙයක් පෙනී යා හැකි බවය.
එය විස්තර කිරීමට අප සිටින කාල්ය හෝ දේශය බලපාන්නේ නැත.
කෙසේ වුවද මම ඔහුගේ ළඟින්වත් තියන්නට නොහැක.
ඔහුගේ ලියමන් කියවන විට මට සිතෙන්නෙ එක්කෝ ඔහු හිතාමතාම මේවා මේ තරම් සුන්දරව ලීවා කියාය.
ඔහුගේ ලිවීමේ රහස් මට ටිකක් හෙලි වී ඇත.
ඔහු කිසිදාක ඔහු බෙංගාලයේ සිට ලියූ ඒ කතා වල රහස් දශක ගණනාවකට පසු ලංකාවේ කොල්ලෙකු තේරුම් ගනීවියැයි කිසිදා නොසිතන්නට ඇත.
අහඹු ලෙස මතක් වූ චින්තා ලක්‍ෂමියනි ඔබ නොවන්නට මට ඒ රහස් හෙලි නොවන්නේය, ඔබට අනේක වාරය තුති.
කෙසේ වෙතත් මට සිතෙන පරිදි මා ලෞකිකත්වය ලියැවුන පොත් වලින් වෙනත් පොත් ටිකකට මේ තරම් පිස්සු වැටේ යැයි මට නොසිතේ.
පැය දෙකක් හෝ එක හමාරක් එකදිගට ටයිප් කළ ලිපිය දිග වැඩිදයි නොදනිමි.
එහෙත් මට මේ ගැනම බ්ලොගයක් ලිවිය හැකියැයි මට හැඟේ.
විභූතිභූෂණයනි ඔබටත් අනේක වාරයක් තුති.

අවසන් වශයෙන් මම ළඟදී සිතීමට සිතුනු සිදුවීමකින් කතාව නවතමි.
බාලාංශයේ ළමයෙක් ලංගම බසයක් ගියර් පෙට්ටිය ළඟ අසුනේ යමින් සිටියේය.
අහෝ වාහන, දුම් රොටු, දූවිලි, බැනර්, බෝඩ් පිරි පරිසරය දකිමින් උදේ පාන්දර ගමේ සිට පාසලට යන හවස ක්ලාස් යන තෙරපෙන ළමයා කිසිදාක අපි මෙන් කැලෑ උණ කාරයෝ වෙයිද?






Sunday, October 9, 2011

අල මැස්සා....


අපෙ ගෙදර පිටිපස්සෙ වැටක් තියනවා,
මේක ජීව වැටක් නෙවේ.
කොලපාට දැල් ගහපු යකඩ වැටක්.
මේකත් ජීව කරලා තීයන්නෙ අල වැල් (Dioscorea sp)සහ     කෝවක්කා (Coccinia grandis) වැල්.
ඊට අමතරව මේකෙ තිබුනා ලංකා කඩල සහ මෑකරලුත්, දඹලත්.
දැන් නම් මෙහෙට පෑවිල්ල.
කෝවක්ක සහ අල විතරයි ඉන්නෙ.
කෝවක්කා මල
ඉතින් අල මැස්සා එන්නෙ මේ වැටට තමා.
අල මැස්සා කියන්නෙ ලස්සන සමනලයෙක්,
Yamfly -Loxura atymnus උට තියනවා සුලබ නොවන හැඩයක්.
Yam = අල Fly = මැස්සා
අල මැස්සා



ලංකා කඩල වැල වලින් යුෂ බොන අල මැස්සො

මෙයාගෙ ධාරක ශාකය තමා වැල් අල,
අල වැලේ ළපටිම කොටසෙ, ඒ කියන්නෙ දල්ලෙ ඇවිත් බිත්තර දානවා.
ඒකෙන් එලියට එනවා පොඩීම පොඩි දළඹුවෝ.
මේ අය තමා ලොකු වෙලා ලස්සන අල මැස්සෙක් වෙන්නෙ.
මම ලංකා කඩල හැදුවෙත් මේ අල මැස්සාටම තමා, ඌ ගොඩක් කැමතියි ලංකා කඩල වල පුරුක් වලින් එන යුෂය බොන්න,
ඒ කූඹි යාලුවොත් එක්ක.
මම මේ සතාට ගොඩක් කැමතියි අපෙ ගෙදර ඉන්නව කියල දැන ගන්නත් කලින්.
මේ සතා වැඩියෙන්ම ලස්සන තටු දිගෑරගෙන අවුව තපිනකොට
(එහෙම ෆොටෝ එකක් තියන්වද මන්දා මගෙ ගාව)
ඉතින් ගෙදර අල වැල් ටිකක් හදලා බලන්න.
අල මැස්සා එන්න පුළුවන්.


දැන් බලමු අපිට මේකෙන් ගන්න පුළුවන් දේවල්.


1.ජීව වැට- Live Fence
මේක මිනිස්සු අතරින් ඈත් වෙලා යන දෙයක් දැන්.
අවශ්‍යතාවක් නැතුවත් කොන්ක්‍රීට් වැටවල් දානවා.
මේ පින්තූරෙ තියන්නෙ එහෙම අවස්තාවක්.
අපෙ අත්තම්මලාගෙ ගෙදර සහ ඒ ඉස්සරහ ගෙවල් දෙකේම තිබුනෙ ජීව වැටවල්.
බට පඳුරු සහ ගඟවැරැල්ල (Phyllanthus myrtifolius) වලින් හැදුන.
ගඟවැරැල්ල කියන්නෙ හරිම ලස්සන ශාකයක්.
මේක ආවේණික ශාකයක්,
මෙහෙම වැටවල් වලට පාවිච්චි කරපු නිසා ඉබේම ආරක්ෂා වුනා හෙවත් හරිම විදිහට කියනව නම් සොබාවික පරිසරයෙන් පිට සංරක්ෂණය වුනා (Ex- situ conservation).
ජීව වැටවල් නැතිවෙලා ගිහින්
මම මාතර ගිහාම දැකගන්න හම්බුනා අපූරු ජීව වැටක්.
මේක නම් හවසට පුදුම සුවඳ හමනවා ඇහි.
මේක හැදිලා තිබුනේ ගාඩිනියා ගස් (Gardenia jasminoides)වලින්.
ගාඩිනියා 
අපිට පුළුවන් අජීවී වැටක් වුනත් ජීව  කරන්න.
ඒ ගස් වැල් හදලා.
මම වැටේ හැදුව මෑකරල් හැදුවෙ අපෙ බත් ලෑල්ලට එන ගිරවුන්ට කන්න.
උන් හරිම ලස්සනයි බත් කනකොට.

එතකොට අල වැල් හොඳ ආහාරයක්.
ඉදිරියට එන ආහාර හිඟ වලදී මේක ගොඩක් වැදගත් වෙයි,

කෝවක්කා දියවැඩියාවට හොඳ බෙහෙතක්, මැල්ලුම්, කැඳ වලට යොදාගන්න ඕන.
මේ ළඟදි අපෙ ගෙදරට ඒව ඉල්ලගෙන ආපු ගෑනු කෙනෙක් කීවෙ ඒක තුවාල වලටත් තලලා දානවා කියලා.
ඒ වගෙම පැරණි කවියෝ කාන්තාවන්ගෙ (ඉස්සර කාලෙ හිටපු)
තොල් දැකලා ඒ ගෙඩි විලියෙන් ඇඹරෙනවා කීවනෙ.
ඒවා හරිම ලස්සනයි රතු පාටයි ඉදුනම, මල් හරි ලස්සනයි සුදු පාටයි, 
මේ වැල අප්පච්චි ගෙනත් හිටෙවුවෙ, මේවා අපෙ පැත්තෙ නෑ.

2.දේශීයත්වයට නැඹුරු වීම.
මේ උඩින් කියපු ඔක්කොම ඒවා තමා,
අල, කොල, කරල් ගෙදරදිම ලබා ගන්න පුළුවන් අපේ දේශීය ඒවම.
ඉඩකඩ  අඩු කෙනෙක්ට වගා කරන්න හොඳ තැනක්.

3.ජෛව විවිධත්වය වැඩි කරගැනීම.
මේ දෙවල් මගින් අපිට වගේම සතුන්ටත් ආහාර සහ වාසස්ථාන ලැබෙනවා.






වඳුරු මෑ


Common Cerulean 






අළුත උපන් Common Cerulean කෙනෙක්




අවර 
මේකට එකතු කරන්න පින්තූර හොයන්න පරිගණකේ පීරද්දි හම්බුනේ මේ අන්තිම ෆොටෝ ටික.
උඩම තියන්නෙ වඳුරු මෑ (Mucuna puriens) , වැටේ මුල්කාලීන සාමාජිකයෙක්.
අවර (Canavilia gladiata) කියන්නෙ මුල්ම සාමාජිකයද කොහෙද,
වඳුරු මෑ වැල හොඳට සරුවට හැදෙනවා, මල් හරිම ලස්සනයි.
ඒත් ඉතින් මේ දෙකම අපිට කන්ට අමාරුයි.
වඳුරු මෑ අපෙ මහ වෙදනාගෙ කැමති ක්ෂේත්‍රයට අදාලයි.

Common Cerulean  (Jamides celeno )  කියන්නේ මේ වඳුරු මෑ වල බිත්තර දාන්න ආපු සමනලයෙක්.
මෙයා නම් ගොඩක් සුළබයි.  මෑ කරල්, බෝංචි වගේ රනිල ශාක බොහොමයක බිත්තර දානවා.
කොහොම වුනත් සමනල්ලු ඉන්න එක ලස්සනයිනෙ.

අන්තිමට පස්සෙ දාන්නම් කියල හිටිය එකකුත් දාන්නම් කියල හිතුවා.
ආය දාන්න හම්බුනේ නැත්තං.
පොඩි ළමයි එක්ක මේ වගේ වැටක් ගාව හිටියත් ගොඩක් දේවල් කියල දෙන්න පුළුවන් පරිසරේ ගැන.
මේ ඉන්නෙ පනින මකුළුවෙක් (Jumping Spider) මේ අය දැල් බඳින්නෙ නෑ,
හැංගිලා ඉඳලා පහරදීම හෙවත් ගරිල්ලා පහරදීම් තමා කරන්නෙ.
(සමනලයා ඉස්සල්ලා එකාම තමා, මේ ඉන්නෙ කෝවක්කා වැලේ.)
ඒ අනුව පේනවා පොඩි දෙයකින් කොච්චර නම් ජෛව විවිධත්වය වැඩි වෙනවද කියලා.

   
මේක දිග වැඩි වුනාද මංදා...
කමක් නෑ.
මේ අර කලින් එක වගේම ඊටත් වඩා දිග එකක්නෙ.
කියවූ ඔබ සැමට වඩා ගෙදර වැටේ මෑකරල් වැලක් හදන්න සිතූ ඔබ සැමට ස්තුතියි.


විශේෂ ස්තූතිය වඳුරු මෑ වල විද්‍යාත්මක නම කියාදුන් ආචාර්ය අසංග සංජීව විජේතුංග සර් ට.




Saturday, October 8, 2011

විසඝෝර සර්පයා දැක නෑරු මෝඩයා!



අද මම පාර අතුගානකොට (අපෙ ගෙදර තියන්නෙ පාරෙන් පහල, ඒ නිසා ගෙදරට පාරෙ ඉඳලා කොන්ක්‍රීට් පාරක් දාල තියනවා )
මෙන්න බොලේ උඩ කරපිංචා ගහේ මොකෙද්දෝ ඇදෙනවා..
"ඊයා බුදු අම්මෝ මෙන්න සර්පයෙක්, මාව බේරගනියෝ" 
කියලා ඉදල විසික් කරලා දුවන්ට
තිබුනා මම වෙන කෙනෙක් නම්.
මට නම් ව්‍යවහාරික වදනින් කියනව නම්,
"පට්ටම ආතල් එකක් ගියා"


මොකද කියනව නම් අපේ වත්තෙ ඇහැටුල්ලෙක්වත් නෑ.
හිටියෙ ගැරඬි විතරයි, එවුනුත් දැන් පේන්ට නෑ.
මීට ඉස්සර දවසක අපෙ වත්තෙ වැටේ මාපිලෙක් ඉඳලා මට දැනුනෙත් මේ වගේම අද්භූත සතුටක්.


සර්පයෝ කියන්නෙ ලෝකෙ මිනිස්සු ගොඩක් පිළිකුල් කරන සත්තු ජාතියක්.
ඒ වගේම උන් ගැන ගොඩක් මිත්‍යා මත තියනවා.
ඒ වගේම ලෝකෙ ඉන්න විසකුරුම සතුන් අතුරින් මිනිස්සු අඳුරන අය වැඩි හරියකුත් සර්පයෝ.
ඒත් මිනිස්සු දන්නෙ නෑ සර්පයෝ හැම එකාම විසකුරු නෑ කියලා.
ඒ නිසා ගොඩක් සර්පයොන්ට වෙන්නෙ පොලු පාරක් කාල මැරිලා යන්න,
එහෙම නැත්තන් ලාම්පු තෙල් පාරක් කන්න.
අපිට එක පාරක් හම්බුන නයෙක් මේ සතාගෙ ඇඟට ලාම්පු තෙල් දාල ගිනි තියලා,
තව එකෙක් හම්බුනා උට ගහල ගහල එක ඇහැක් අන්ධ වෙල තිබුනා.
අපි උන් දෙන්නටම සාත්තු කරා.
ඇහැ මැරුන සතා ගොඩ කලක් හිටිය ඌ හරිම වයසයි.
කොහොම හරි මූ හැව අරිනකොට අර මැරුණු ඇහැ ගැලවුන මට මතක විදියට.


මේ නොදැනුවත්කම නිසා මට මතකයි මම පොඩි කාලෙ ලෝකේ ඉන්න අහිංසකම ජාතියේ සර්පයෙක් මැරුවා තලලා,
පත්තරේ තිබුණා  මෙහෙම දෙපත්නයා කියන සර්පයා උග්‍ර විසයි (සමහර විට දෙපත් කළුවා වෙන්ටත් පුළුවන්, ඌ නම් ඇත්තටම මේකට ගැලපෙනවා) ඒකා උග්‍ර විසයි.
ඉන්නෙ පස් යට කියලා.
මටත් ඒ ළඟදිම දවසක පස් අස්සෙ ඉඳලා සතෙක් හම්බුනා,
මං හිතුවා වැඩේ හරි තමා මූත් උග්‍ර විස ඇති කියලා මැරුවා.
ඒත් මම පස්සෙ දැන ගත්තෙ මූ හරිම අහිංසකයෙක් කියලා.
දැනුත් කම්පාවක් ඒක මතක් කරන්න.


අපි මෙතන කීවෙත් ඒකයි.
නිකරුනේ සත්තු මරන්න එපා කියලා.
(නැත්තං ඉතින් කියයි ඔයාලා මේ මනුස්සය නම් කියයි පොළඟෙක් හපාකන්ට පනිනකොට හුරතල් කරන්නයෑ කියලා)
මේකෙ ලීවේ එහෙම දේවල් වෙන එකෙන් වලකන්න.


කොහොම වුනත් හැමෝම දැනගන්න ඕන සර්පයොත් මේ ලෝකෙ පාරිසරික සමතුලිතතාවට වැදගත් කියලා.
මම ඒක දන්න නිසා තමා මගේ වත්තෙත් අහිංසක සර්පයො ඉන්නවට ආස.
උනුත් ලස්සන සත්තුනෙ.
(දැන් කියයි, මාත් නපුරු එවුන් හිටියොත් මරයි කියලා, නෑ මම මරන්නෙ නෑ)
ඒත් ළමයින්ට නම් කියන්න කිසිම සර්පයෙක් අල්ලන්න යන්න එපා කියලා.
ඒත් උංව මරන්න එපා කියන්න.
එලවලා දාන්න කියන්න.

කොහොම වුනත් මම හිතුවා මේ දේවල් වඩාත් හොඳට තියන බ්ලොගයක් කරන්න.
ඒත් මට සර්පයෝ ගැන තියන්නෙ මූලික දැනුමක් විතරයි,
ඒ නිසා මගේ යාළුවා තමා මේකට උදවු කරන්නෙ.
මෙතනින් ගිහින් බලන්න විසඝොර සර්පයා දැක නෑරු මෝඩයා! ට.

ආය මුලට එන්නම් මම මම අර කීව මුලදි දැකපු සර්පයා තුරු හාල්දණ්ඩෙක් (Common Bronze Back, Dendralephis tristis),
නිර්විෂ සර්පයෙක්.
වැටේ දැක්කා කියපු මාපිලත් (Boiga ceylonensis) සුළු විෂයි.
මේ දේවල් වලදි නම් දේශීය වෙදකමත් එක්ක මේක ගැටෙනවා,
අපි ඒවා ගැන වෙදනා මහත්තයගෙන් අහල බලමු.
මට උදේ හම්බුන සර්පයෙක් වෙන කෙනෙක්ට හම්බ වෙලා සිද්ද වෙලා තියන දේ
මම පොඩි කාලෙ මැරුව කීව වගේ පස් යට ඉන්න අහිංසකයෙක්
මේ දෙවනි පින්තූරේ ඉන්නෙ හොඳටම අහිංසකයෙක්, දෙපත් නයා කියන සර්පය
(Sri Lankan Cylinder Snake, Cylindrophis maculatus) තමා මේ,  ඇත්තටම මේ සතා නම් මිනිස්සුන්ට වඩා ගොඩාක්ම අහිංසකයෙක්.
මේ සතුන්ව මරන්නෙ නොදැනුවත්කමටමයි.


මට මේ දේවල් ලියාගෙන යනකොට හිතුනා,
"ඇත්තට මං දැන් පොඩි ළමයින්ට දේවල් ලියනව වැඩිද "
කියලා,
ඒත් පස්සෙ හිතුනා පොඩි ළමයි සොබාසුමිතුරු වෙන එක හොඳයි කියලා,
මොකද ලොකු අය එහෙම කරනවට වඩා ඒක ලෙසියි.
අනික කවුරු වුනත සොබා සුමිතුරු වෙන එක වටිනවනෙ.
ඒ නිසා මම මේ දේවල් හරි ලියනවා.
කාගේ වුවත් අදහස් වැදගත්.



විශේෂ ස්තූතිය Chrysopelea ornata හෙවත් මල්සරා සහෝදරයට.
හදිසියේම වුවත් අවශ්‍යය වුන වෙලාවෙම මට මේ ඡායාරූප සැපයූ සචී පෙරේරා සහෝදරයටත් බොහොම ස්තූතියි.

අපි මේ සඳහා කරන වැඩේ තවම ප්‍රාථමික අඩියේ තියන්නෙ.
ළඟදීම බලාපොරොත්තු වන්න.








Wednesday, October 5, 2011

පියසටහන්.....


මගේ අහිංසක අම්මා අද මා සමඟ පංසලට ගියාය.
ඇය කිසි දිනක මහා පොෂ් කාන්තාවක් නොවූවාය.
ඇය ගැමි කාන්තාවක්ද නොවූවාය.
එහෙත් ඇය සංකරද නැත.
මම දැක ඇහි හොඳම කාන්තාවන් අතර අපේ අම්මාද සිටී.
සෑම අම්මෙක්ට මෙන්ම මගේ අම්මාටද මා කෙරෙහි බලවත් ස්නේහයක් තිබෙන බව මා දනිමි.
ඇය අර්ධ ගැමි කාන්තාවක් හෙයින්,
සිකුරාදා සරසවියට පියමණින වෙන්ට දොස්තර පුතා සමඟ පංසල් ගියේ එහෙයිනි.
ඈ මසකට වරක් පංසලට තෙල් බෝතලයක්, සුවඳ කූරු සහ ගිනි පෙට්ටි පූජා කරන්නීය.
අප ඒවාද ගෙවත්තෙන් නෙලාගත් දහස්පෙතියාද ගෙන පියමැන්නෙමු.


ඇයද සාමන්‍යය මවක මෙන් සියපුතු හොඳින් ඉගෙන ගෙන ඉහලට යනවාට බෙහෙවින් ප්‍රිය කළාය.
එහෙයින් ඇයට මාගේ විභාග ප්‍රතිඵල ඉතා ඉහල සතුටක් ගෙන ආවාය.
ඇයට වඩා මගේ අවංක අහිංසක අප්පච්චීද බෙහෙවින්ම සතුටු වූවාය.
මම චිත්‍රපටි වල දරුවන් පියවරුන්ට තුරුල් වෙනු දැක ඇත්තෙමි,
මටද එයට ආසා හිතෙයි.
එහෙත් මට එය හුරු නැත, මක්නිසාද යත් පිය සෙනෙහස අප්‍රකට එකක් වන නිසාය.
එහෙත් මා පියාට වඩා මවට ලෙංගතු වෙමි.
එනමුදු මගේ ප්‍රතිඵල ඇසූ අප්පච්චි මාව සතුටු කඳුලු වගුරමින් වැළඳ ගත්තේය.
කෙසේ වුවද මට කියන්නට ඇත්තේ මෙයයි.
ජීවිතය වේගයෙන් ගෙවී යමින් පවතී.
පාසල් ජීවිතය සිහිනයක් මෙන් ගෙවී ගියේය.
දැන් ජීවිතයේ අළුත් පරිඡ්චේදයක් පෙරලී ඇත.
මම සිකුරාදා එයට එක්වෙමි.
මෙතෙක් දවස් බ්ලොග් ලියූ මට එයට වෙලාව අඩු වෙනු ඇත.
මෙතෙක් දවස් මගේ අලුත් බ්ලොගයේ වෙනස් ලිපි වලට අදහස් දැක්වූ ඔබ සැමට මාගේ ස්තූතිය,
(මේවා ආදර \ විසුළු \ සංවේගජනක කතා ආදියට වඩා රසයෙන් අඩු විය හැක,
මට ඒවාද හොඳින් ලිවිය හැක.
එහෙත් ඒවාගෙන් වෙන යහපතට වඩා මෙය වටිනා හෙයින්,
මම මෙය කළෙමි.)
එසේම මට පෞද්ගලිකව උපකාර කළ සහ අදහස් දැක්වූ මගේ සොයුරු සොයුරියන්ටද මගේ ස්තූතිය වේවා.
සින්ඩි වල සියලු දෙනාටද ස්තූති වේවා,
එසේම මෙහි මුල කී අම්මාටද අප්පච්චීටද මේ බ්ලොගයේ යහපත උපහාර වේවා.
මෙයට උපකාර කළ මෙකී නොකී සියළු දෙනාටද ස්තූති වේවා.

නැවත් මුලට...
මම පන්සලට ගියෙමි.
පෙරදා දහම්පාසල් ගිය පන්සල දැන් නැත,
එය වෙනස් වී ඇත.
මමද වෘධ වී සිටිමි.
අපි පහන් දල්වා මල් පූජා කර නැවත් මාවත දිගේ ආවෙමු.
මම අම්මාගේ පිය සටහන් පයින් මඬිමින් ඈ පසුපස ආවෙමි.
ඇගේ අතේ එල්ලිගත් මම මේ මාවතේම අතීතයේ ඇයට වඩා බෙහෙවින් පොඩි එකෙක්ව ගිය හැටි සිහි කරෙමි.
අපි එදවස නැගූ පියවර යළි නැගිය නොහැක,
ඒවා අතීතයට එක්ව ඇත.
මම ඇගේ අත සෙනෙහෙන් අල්ලාගතිමි.
ඇය හාම පියවර තැබූවෙමි.
අප දෙදෙනාගෙන් කාගේ පියවර කලින් අවසන් වේවිදැයි මා නොදනිමි.
මේ අපගේ එක් තාවකාලික නැවතුමක් පමණි.

Tuesday, October 4, 2011

දෙස්පළුවෝ නළුවෝ සහ එළුවෝ .....


මම මේ ටිකකට කලින් ගියා සාලෙට,
අම්මා බලනවා මිණිපුර හටන.
ටෙලි කියන්නෙ රියැලිටි නෙවේ තමා,
ඒකෙ පෙන්නන්නේ හීනයක්,
අදාල තිරරචකයා මවපු.
ඒක ඔය වගේ නාට්‍යයකදී නම් බොහෝ විට සමාජෙ දකින් දේ එකතු කරලා තමා ලියන්නෙ.
එතකොට දෙස්පලුවගෙ ගෙදර සරසනවා ඉටිකොල වලින් වැහෙන්න.
හතරවටේ පොලිතින්.
ඕක තමා රියැලිටිය.
ඒත් ඉතින් මේකෙ ඉන්න දෙස්පලුවා හොඳ පාට් එකනෙ රඟපාන්නෙ (රොජර්)
එහෙම එකේ අපෙ කලාකරුවන්ට තිබුනා මෙච්චරම සුදු චරිතෙ සොබාසුමිතුරුත් කරන්න.
ඔය පොලිතීන් ටික රඟපෑවත් අන්තිමට මොකද වෙන්නෙ බොහෝ විට?
ඒවා විසික් කරලා දාන එක.
එතකොට පරිසරේට කහල එකතු වෙනවා නොදිරන.
තව මම නාට්ටියක දැක්කා එක මනුස්සයෙක් කතා කරන ගමන් වතුර දානවා ගහකට.
වතුර පිරිල ඉතිරිලා යනවා,
ඒ මනුස්සයා නිකරුනේ වතුර දානවා.
මේකත් කොච්චර අපරාධයක්ද?
සුද්දන්ගෙ පරිසර පත්තර වල තියනව "හරිත ඡන්දය" (Green Vote) කියල එකක්.
මේකෙන් කියන්නෙ සොබා සුමිතුරු දෙස්පලුවොන්ට ඡන්දෙ දෙන්ට කියල.
කණගාටුයි කියන්න මම අහල දැකලා තියන විදිහට ඔය ඉහල පෙළේ දෙස්පලුවො එක්කනෙක්වහ් සොබාසුමිතුරු අය නෙවේ.
ඒත් මම මේ ළඟදි ගියපු යටියන්තොට ප්‍රාදේශීය සබාව සහ අන්තර්ජාලෙදි දැකපු බලංගොඩ නගරසභාව 
(එහි බ්ලොගය)ඉහලින්ම පරිසරේ රකිනවා,
මට පුදුම සතුටු හිතුනා ඒවා දැකලා.
අපේ ප්‍රාදේශීය සභාවලට එන අය මේවා කරන්නෙ නෑනෙ කියලා දුක හිතුනා.
කොහොමවුනත් කලාකාරයෝ මේක බලනවා නම් හෝ මේක බලන අය කලාකාරයෝ අදුරනවා නම් කියන්න මේ දේ ගැන.
ඔවුන් ජනතාවට මීට වඩා පණිවිඩ දිය යුතුයි පරිසරය රකින එක ගැන.
මෙන්න බලන්න කලාකරුවන්ට කළහැකි දේවල්...
මම මගේ කලාකාර යාලුවොන්ට මේක පෙන්නුවා.
අපෙ රටෙත් මෙහෙම ඒවා දකින්න ලැබුනොත් මට කියන්න.
අඩුගානෙ එකෙන්වත් අපිට සොබාසුමිතුරු දෙස්පලුවෙක් බලන්න දෙන්න කියලා.
එතකොට මිනිස්සු දැනගනීවි අපිත් මීට වඩා පරිසරයට ආදරේ කෙනෙක්ට ඡන්දය දිය යුතුයි කියලා.
ගස් ගල් වලට අතවර කරලා නම් ගහලා විකාර "නො" කරන
ශබ්ද දූෂණේ කරලා සල්ලි පුච්චන රතිඤ්ඤා "නො" දාන,
ගංගා ඇලදොල වල නම ගහපු පොලිතීන් බෝඩ් "නො" ගහන,
අය අපි ඉල්ලන්ට ඕන.
මෙහෙම තමන්ගෙ සල්ලි විනාස කරන මිනිස්සු පත් වුනාම ජනතාවගෙ සල්ලි ඉතුරු කරයිද?
එතකොට දෙස්පලුවොන්ටත් සොබාසුමිතුරු වෙන්න වෙයි.
වැරදිලාවත් දෙස්පලුවෙක් මේක බලනව නම් මේ ගැන හිතල බලන්න.
මේකෙ හෙඩිමට එළුවෝ දැම්මෙ ශබ්ද රසය රකින්න.
ඒත් ඉතින් දැන් නැතත් ඉස්සර මේ දෙස්පළුවෝ බිත්ති වල හිනා වෙලා පරිසරේ ලස්සන කනකොට එළුවෝ ඇවිත් පළුවෝ ටික කෑවනෙ.
අම්මප ඇත්තට මට හිතුන දවසක් පළුවෙක් දැකලා මේ මනුස්පයා කොච්චර නම් අමාරුවෙන්ද මෙච්චර කට ඇදෙනකම් හිනා වෙන්ට ඇත්තෙ කියලා.
(මෙහිදී මම මිණිපුර හටන යනුවෙන් පැහැදිලිව දැක්වූයේ මෙය මඩක් නොවන නිසා බව කරුණවෙන් සලකන්න

Sunday, October 2, 2011

පොඩි එවුන්ට පුරුදු කරමු සොබා බලන්න ........



අපි ඊයෙ කතා කරා පොඩි එවුන් කොහොමද සොබා සුමිතුරු කරන්නෙ කියලා.
අපිට පුළුවන් පරිසරේ නිරීක්ෂණය කරන්න ළමයින්ට කියල දෙන්න.
එතකොට ළමයි තුල ඇති වෙන අනවශ්‍ය බයවල් නැති වෙනවා.
මේක ළමයින්ට දෙන අනවශ්‍යය දේවල් වෙනුවට කාලය ගත කරන්න හොඳ විනෝදාංශයක් කරන්නත් පුළුවන්.
මොකද සමහර ළමයි පොඩි පොඩි සත්තුන්ටත් බයයි.
කොච්චර ලස්සන වුනත් සමනල්ලුන්ටත් බයයි.
ඒකට කියනව Lepidophobeia කියල ඉංගිරිසියෙන්.
ඒ වගේ ළමයි බිහිවෙන එක වලක්වන්න අපිට පුලුවන්.
මේ වගේ ගෙවත්තෙ ඉන්න දළඹුවෙක් කොහොමද කාගෙන කාගෙන යන්නෙ කියල පෙන්නන්න.
ඕන්නම් බත් කන්ට හොර ළමයෙක් ඉන්නව නම් කියන්න,
"පේනවද පුතේ මේ දළඹු පැංචා ඉක්මන්ට ඉක්මන්ට කන හැටී.
මෙයා ගොඩක් කෑම කාල ඉක්මනට ලස්සන සමනලයෙක් වෙනවා"
කියලා.
ඒත් ඉතින් පොඩි එකා පිළිගන්නෙ නැත්තන් පොඩි එකාට දළඹුවා සමනළයෙක් වෙන හැටි පෙන්නන්න.
එතකොට පොඩි එකාට ජීවන චක්‍ර ගැන ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න ඕනෙ නෑ අලුතින්.


මේ අපේ ගෙදර උගුරැස්ස පැලේ හැදුන කියන 
Common Leopard (Phalantha phlantha)
සමනලයගෙ දළඹුවෙක්.
මෙයා ලංකාවෙ සුළබ සමනලයෙක්.
ගෙදර පොඩි උගුරැස්ස පඳුරක් හදාගත්තොත් කෙලවරක් නැතුව එයි.
මෙන්න උදේ ඉදන් කාන්තාවො ටික බිත්තර දාන්ට පොරකාපු හැටි...
දැන් උගුරැස්ස බද්ධ පැලත් තියනවා, ඒවා ඉක්මනට පීදෙනවා ඇති.
ඒ වගේම අපි අගය කරන්න ඕන මේ වගේ වස විස නැති දේශීය පලතුරු.



ඇත්තට මේ දළඹුවෝ මෙච්චර වේගෙන් කන්නෙ ඉක්මන්ට ලොකු වෙන්න ඕන නිසා.
කාලා කාලා ශක්තිය ගබඩා කරගන්නවා කෝෂ අවස්ථාවෙදි පාවිච්චියට ගන්න.


ඒ මොකද මේ සත්තුන්ට තියන අනවශ්‍ය බිය වෙලාවකට හරි කරදරයක් වෙනවා සහ සතුන්ටත් හානියක් වෙනවා.
මම හොඳටම දන්න කෙනෙක් ඉන්නව එයා මකුළුවොන්ට ගොඩක් බයයි (Arachnophobia).
ඒ නිසා කාමරේට මකුළුවෙක් ආවොත් උගෙ පණ ගැන හිතන්නෙත් නැතුව කොස්සෙන් හරි මොකෙන් හරි තල්ලු කරලා ඒ සතාව එලවනවා. 

ඒකෙන් එයාට පවුත් සිද්ද වෙනවා අනවශ්‍ය කලබලත් ඇති වෙනවා.
අපි ළමයින්ට කියල දෙන්න ඕන සෑම ජීවිතයකටම නොමැරී ජීවත් වීමේ සමාන අයිතියක් තියනව කියලා.
මේ දේවල් මඟින් අපිට පුළුවන් සොබාසුමිතුරු, ක්‍රියාශීලී, හොඳ නිරීක්ෂණ හැකියාවක් තියන ළමයි බිහිකරන්න.