Saturday, October 8, 2011

විසඝෝර සර්පයා දැක නෑරු මෝඩයා!



අද මම පාර අතුගානකොට (අපෙ ගෙදර තියන්නෙ පාරෙන් පහල, ඒ නිසා ගෙදරට පාරෙ ඉඳලා කොන්ක්‍රීට් පාරක් දාල තියනවා )
මෙන්න බොලේ උඩ කරපිංචා ගහේ මොකෙද්දෝ ඇදෙනවා..
"ඊයා බුදු අම්මෝ මෙන්න සර්පයෙක්, මාව බේරගනියෝ" 
කියලා ඉදල විසික් කරලා දුවන්ට
තිබුනා මම වෙන කෙනෙක් නම්.
මට නම් ව්‍යවහාරික වදනින් කියනව නම්,
"පට්ටම ආතල් එකක් ගියා"


මොකද කියනව නම් අපේ වත්තෙ ඇහැටුල්ලෙක්වත් නෑ.
හිටියෙ ගැරඬි විතරයි, එවුනුත් දැන් පේන්ට නෑ.
මීට ඉස්සර දවසක අපෙ වත්තෙ වැටේ මාපිලෙක් ඉඳලා මට දැනුනෙත් මේ වගේම අද්භූත සතුටක්.


සර්පයෝ කියන්නෙ ලෝකෙ මිනිස්සු ගොඩක් පිළිකුල් කරන සත්තු ජාතියක්.
ඒ වගේම උන් ගැන ගොඩක් මිත්‍යා මත තියනවා.
ඒ වගේම ලෝකෙ ඉන්න විසකුරුම සතුන් අතුරින් මිනිස්සු අඳුරන අය වැඩි හරියකුත් සර්පයෝ.
ඒත් මිනිස්සු දන්නෙ නෑ සර්පයෝ හැම එකාම විසකුරු නෑ කියලා.
ඒ නිසා ගොඩක් සර්පයොන්ට වෙන්නෙ පොලු පාරක් කාල මැරිලා යන්න,
එහෙම නැත්තන් ලාම්පු තෙල් පාරක් කන්න.
අපිට එක පාරක් හම්බුන නයෙක් මේ සතාගෙ ඇඟට ලාම්පු තෙල් දාල ගිනි තියලා,
තව එකෙක් හම්බුනා උට ගහල ගහල එක ඇහැක් අන්ධ වෙල තිබුනා.
අපි උන් දෙන්නටම සාත්තු කරා.
ඇහැ මැරුන සතා ගොඩ කලක් හිටිය ඌ හරිම වයසයි.
කොහොම හරි මූ හැව අරිනකොට අර මැරුණු ඇහැ ගැලවුන මට මතක විදියට.


මේ නොදැනුවත්කම නිසා මට මතකයි මම පොඩි කාලෙ ලෝකේ ඉන්න අහිංසකම ජාතියේ සර්පයෙක් මැරුවා තලලා,
පත්තරේ තිබුණා  මෙහෙම දෙපත්නයා කියන සර්පයා උග්‍ර විසයි (සමහර විට දෙපත් කළුවා වෙන්ටත් පුළුවන්, ඌ නම් ඇත්තටම මේකට ගැලපෙනවා) ඒකා උග්‍ර විසයි.
ඉන්නෙ පස් යට කියලා.
මටත් ඒ ළඟදිම දවසක පස් අස්සෙ ඉඳලා සතෙක් හම්බුනා,
මං හිතුවා වැඩේ හරි තමා මූත් උග්‍ර විස ඇති කියලා මැරුවා.
ඒත් මම පස්සෙ දැන ගත්තෙ මූ හරිම අහිංසකයෙක් කියලා.
දැනුත් කම්පාවක් ඒක මතක් කරන්න.


අපි මෙතන කීවෙත් ඒකයි.
නිකරුනේ සත්තු මරන්න එපා කියලා.
(නැත්තං ඉතින් කියයි ඔයාලා මේ මනුස්සය නම් කියයි පොළඟෙක් හපාකන්ට පනිනකොට හුරතල් කරන්නයෑ කියලා)
මේකෙ ලීවේ එහෙම දේවල් වෙන එකෙන් වලකන්න.


කොහොම වුනත් හැමෝම දැනගන්න ඕන සර්පයොත් මේ ලෝකෙ පාරිසරික සමතුලිතතාවට වැදගත් කියලා.
මම ඒක දන්න නිසා තමා මගේ වත්තෙත් අහිංසක සර්පයො ඉන්නවට ආස.
උනුත් ලස්සන සත්තුනෙ.
(දැන් කියයි, මාත් නපුරු එවුන් හිටියොත් මරයි කියලා, නෑ මම මරන්නෙ නෑ)
ඒත් ළමයින්ට නම් කියන්න කිසිම සර්පයෙක් අල්ලන්න යන්න එපා කියලා.
ඒත් උංව මරන්න එපා කියන්න.
එලවලා දාන්න කියන්න.

කොහොම වුනත් මම හිතුවා මේ දේවල් වඩාත් හොඳට තියන බ්ලොගයක් කරන්න.
ඒත් මට සර්පයෝ ගැන තියන්නෙ මූලික දැනුමක් විතරයි,
ඒ නිසා මගේ යාළුවා තමා මේකට උදවු කරන්නෙ.
මෙතනින් ගිහින් බලන්න විසඝොර සර්පයා දැක නෑරු මෝඩයා! ට.

ආය මුලට එන්නම් මම මම අර කීව මුලදි දැකපු සර්පයා තුරු හාල්දණ්ඩෙක් (Common Bronze Back, Dendralephis tristis),
නිර්විෂ සර්පයෙක්.
වැටේ දැක්කා කියපු මාපිලත් (Boiga ceylonensis) සුළු විෂයි.
මේ දේවල් වලදි නම් දේශීය වෙදකමත් එක්ක මේක ගැටෙනවා,
අපි ඒවා ගැන වෙදනා මහත්තයගෙන් අහල බලමු.
මට උදේ හම්බුන සර්පයෙක් වෙන කෙනෙක්ට හම්බ වෙලා සිද්ද වෙලා තියන දේ
මම පොඩි කාලෙ මැරුව කීව වගේ පස් යට ඉන්න අහිංසකයෙක්
මේ දෙවනි පින්තූරේ ඉන්නෙ හොඳටම අහිංසකයෙක්, දෙපත් නයා කියන සර්පය
(Sri Lankan Cylinder Snake, Cylindrophis maculatus) තමා මේ,  ඇත්තටම මේ සතා නම් මිනිස්සුන්ට වඩා ගොඩාක්ම අහිංසකයෙක්.
මේ සතුන්ව මරන්නෙ නොදැනුවත්කමටමයි.


මට මේ දේවල් ලියාගෙන යනකොට හිතුනා,
"ඇත්තට මං දැන් පොඩි ළමයින්ට දේවල් ලියනව වැඩිද "
කියලා,
ඒත් පස්සෙ හිතුනා පොඩි ළමයි සොබාසුමිතුරු වෙන එක හොඳයි කියලා,
මොකද ලොකු අය එහෙම කරනවට වඩා ඒක ලෙසියි.
අනික කවුරු වුනත සොබා සුමිතුරු වෙන එක වටිනවනෙ.
ඒ නිසා මම මේ දේවල් හරි ලියනවා.
කාගේ වුවත් අදහස් වැදගත්.



විශේෂ ස්තූතිය Chrysopelea ornata හෙවත් මල්සරා සහෝදරයට.
හදිසියේම වුවත් අවශ්‍යය වුන වෙලාවෙම මට මේ ඡායාරූප සැපයූ සචී පෙරේරා සහෝදරයටත් බොහොම ස්තූතියි.

අපි මේ සඳහා කරන වැඩේ තවම ප්‍රාථමික අඩියේ තියන්නෙ.
ළඟදීම බලාපොරොත්තු වන්න.








Wednesday, October 5, 2011

පියසටහන්.....


මගේ අහිංසක අම්මා අද මා සමඟ පංසලට ගියාය.
ඇය කිසි දිනක මහා පොෂ් කාන්තාවක් නොවූවාය.
ඇය ගැමි කාන්තාවක්ද නොවූවාය.
එහෙත් ඇය සංකරද නැත.
මම දැක ඇහි හොඳම කාන්තාවන් අතර අපේ අම්මාද සිටී.
සෑම අම්මෙක්ට මෙන්ම මගේ අම්මාටද මා කෙරෙහි බලවත් ස්නේහයක් තිබෙන බව මා දනිමි.
ඇය අර්ධ ගැමි කාන්තාවක් හෙයින්,
සිකුරාදා සරසවියට පියමණින වෙන්ට දොස්තර පුතා සමඟ පංසල් ගියේ එහෙයිනි.
ඈ මසකට වරක් පංසලට තෙල් බෝතලයක්, සුවඳ කූරු සහ ගිනි පෙට්ටි පූජා කරන්නීය.
අප ඒවාද ගෙවත්තෙන් නෙලාගත් දහස්පෙතියාද ගෙන පියමැන්නෙමු.


ඇයද සාමන්‍යය මවක මෙන් සියපුතු හොඳින් ඉගෙන ගෙන ඉහලට යනවාට බෙහෙවින් ප්‍රිය කළාය.
එහෙයින් ඇයට මාගේ විභාග ප්‍රතිඵල ඉතා ඉහල සතුටක් ගෙන ආවාය.
ඇයට වඩා මගේ අවංක අහිංසක අප්පච්චීද බෙහෙවින්ම සතුටු වූවාය.
මම චිත්‍රපටි වල දරුවන් පියවරුන්ට තුරුල් වෙනු දැක ඇත්තෙමි,
මටද එයට ආසා හිතෙයි.
එහෙත් මට එය හුරු නැත, මක්නිසාද යත් පිය සෙනෙහස අප්‍රකට එකක් වන නිසාය.
එහෙත් මා පියාට වඩා මවට ලෙංගතු වෙමි.
එනමුදු මගේ ප්‍රතිඵල ඇසූ අප්පච්චි මාව සතුටු කඳුලු වගුරමින් වැළඳ ගත්තේය.
කෙසේ වුවද මට කියන්නට ඇත්තේ මෙයයි.
ජීවිතය වේගයෙන් ගෙවී යමින් පවතී.
පාසල් ජීවිතය සිහිනයක් මෙන් ගෙවී ගියේය.
දැන් ජීවිතයේ අළුත් පරිඡ්චේදයක් පෙරලී ඇත.
මම සිකුරාදා එයට එක්වෙමි.
මෙතෙක් දවස් බ්ලොග් ලියූ මට එයට වෙලාව අඩු වෙනු ඇත.
මෙතෙක් දවස් මගේ අලුත් බ්ලොගයේ වෙනස් ලිපි වලට අදහස් දැක්වූ ඔබ සැමට මාගේ ස්තූතිය,
(මේවා ආදර \ විසුළු \ සංවේගජනක කතා ආදියට වඩා රසයෙන් අඩු විය හැක,
මට ඒවාද හොඳින් ලිවිය හැක.
එහෙත් ඒවාගෙන් වෙන යහපතට වඩා මෙය වටිනා හෙයින්,
මම මෙය කළෙමි.)
එසේම මට පෞද්ගලිකව උපකාර කළ සහ අදහස් දැක්වූ මගේ සොයුරු සොයුරියන්ටද මගේ ස්තූතිය වේවා.
සින්ඩි වල සියලු දෙනාටද ස්තූති වේවා,
එසේම මෙහි මුල කී අම්මාටද අප්පච්චීටද මේ බ්ලොගයේ යහපත උපහාර වේවා.
මෙයට උපකාර කළ මෙකී නොකී සියළු දෙනාටද ස්තූති වේවා.

නැවත් මුලට...
මම පන්සලට ගියෙමි.
පෙරදා දහම්පාසල් ගිය පන්සල දැන් නැත,
එය වෙනස් වී ඇත.
මමද වෘධ වී සිටිමි.
අපි පහන් දල්වා මල් පූජා කර නැවත් මාවත දිගේ ආවෙමු.
මම අම්මාගේ පිය සටහන් පයින් මඬිමින් ඈ පසුපස ආවෙමි.
ඇගේ අතේ එල්ලිගත් මම මේ මාවතේම අතීතයේ ඇයට වඩා බෙහෙවින් පොඩි එකෙක්ව ගිය හැටි සිහි කරෙමි.
අපි එදවස නැගූ පියවර යළි නැගිය නොහැක,
ඒවා අතීතයට එක්ව ඇත.
මම ඇගේ අත සෙනෙහෙන් අල්ලාගතිමි.
ඇය හාම පියවර තැබූවෙමි.
අප දෙදෙනාගෙන් කාගේ පියවර කලින් අවසන් වේවිදැයි මා නොදනිමි.
මේ අපගේ එක් තාවකාලික නැවතුමක් පමණි.

Tuesday, October 4, 2011

දෙස්පළුවෝ නළුවෝ සහ එළුවෝ .....


මම මේ ටිකකට කලින් ගියා සාලෙට,
අම්මා බලනවා මිණිපුර හටන.
ටෙලි කියන්නෙ රියැලිටි නෙවේ තමා,
ඒකෙ පෙන්නන්නේ හීනයක්,
අදාල තිරරචකයා මවපු.
ඒක ඔය වගේ නාට්‍යයකදී නම් බොහෝ විට සමාජෙ දකින් දේ එකතු කරලා තමා ලියන්නෙ.
එතකොට දෙස්පලුවගෙ ගෙදර සරසනවා ඉටිකොල වලින් වැහෙන්න.
හතරවටේ පොලිතින්.
ඕක තමා රියැලිටිය.
ඒත් ඉතින් මේකෙ ඉන්න දෙස්පලුවා හොඳ පාට් එකනෙ රඟපාන්නෙ (රොජර්)
එහෙම එකේ අපෙ කලාකරුවන්ට තිබුනා මෙච්චරම සුදු චරිතෙ සොබාසුමිතුරුත් කරන්න.
ඔය පොලිතීන් ටික රඟපෑවත් අන්තිමට මොකද වෙන්නෙ බොහෝ විට?
ඒවා විසික් කරලා දාන එක.
එතකොට පරිසරේට කහල එකතු වෙනවා නොදිරන.
තව මම නාට්ටියක දැක්කා එක මනුස්සයෙක් කතා කරන ගමන් වතුර දානවා ගහකට.
වතුර පිරිල ඉතිරිලා යනවා,
ඒ මනුස්සයා නිකරුනේ වතුර දානවා.
මේකත් කොච්චර අපරාධයක්ද?
සුද්දන්ගෙ පරිසර පත්තර වල තියනව "හරිත ඡන්දය" (Green Vote) කියල එකක්.
මේකෙන් කියන්නෙ සොබා සුමිතුරු දෙස්පලුවොන්ට ඡන්දෙ දෙන්ට කියල.
කණගාටුයි කියන්න මම අහල දැකලා තියන විදිහට ඔය ඉහල පෙළේ දෙස්පලුවො එක්කනෙක්වහ් සොබාසුමිතුරු අය නෙවේ.
ඒත් මම මේ ළඟදි ගියපු යටියන්තොට ප්‍රාදේශීය සබාව සහ අන්තර්ජාලෙදි දැකපු බලංගොඩ නගරසභාව 
(එහි බ්ලොගය)ඉහලින්ම පරිසරේ රකිනවා,
මට පුදුම සතුටු හිතුනා ඒවා දැකලා.
අපේ ප්‍රාදේශීය සභාවලට එන අය මේවා කරන්නෙ නෑනෙ කියලා දුක හිතුනා.
කොහොමවුනත් කලාකාරයෝ මේක බලනවා නම් හෝ මේක බලන අය කලාකාරයෝ අදුරනවා නම් කියන්න මේ දේ ගැන.
ඔවුන් ජනතාවට මීට වඩා පණිවිඩ දිය යුතුයි පරිසරය රකින එක ගැන.
මෙන්න බලන්න කලාකරුවන්ට කළහැකි දේවල්...
මම මගේ කලාකාර යාලුවොන්ට මේක පෙන්නුවා.
අපෙ රටෙත් මෙහෙම ඒවා දකින්න ලැබුනොත් මට කියන්න.
අඩුගානෙ එකෙන්වත් අපිට සොබාසුමිතුරු දෙස්පලුවෙක් බලන්න දෙන්න කියලා.
එතකොට මිනිස්සු දැනගනීවි අපිත් මීට වඩා පරිසරයට ආදරේ කෙනෙක්ට ඡන්දය දිය යුතුයි කියලා.
ගස් ගල් වලට අතවර කරලා නම් ගහලා විකාර "නො" කරන
ශබ්ද දූෂණේ කරලා සල්ලි පුච්චන රතිඤ්ඤා "නො" දාන,
ගංගා ඇලදොල වල නම ගහපු පොලිතීන් බෝඩ් "නො" ගහන,
අය අපි ඉල්ලන්ට ඕන.
මෙහෙම තමන්ගෙ සල්ලි විනාස කරන මිනිස්සු පත් වුනාම ජනතාවගෙ සල්ලි ඉතුරු කරයිද?
එතකොට දෙස්පලුවොන්ටත් සොබාසුමිතුරු වෙන්න වෙයි.
වැරදිලාවත් දෙස්පලුවෙක් මේක බලනව නම් මේ ගැන හිතල බලන්න.
මේකෙ හෙඩිමට එළුවෝ දැම්මෙ ශබ්ද රසය රකින්න.
ඒත් ඉතින් දැන් නැතත් ඉස්සර මේ දෙස්පළුවෝ බිත්ති වල හිනා වෙලා පරිසරේ ලස්සන කනකොට එළුවෝ ඇවිත් පළුවෝ ටික කෑවනෙ.
අම්මප ඇත්තට මට හිතුන දවසක් පළුවෙක් දැකලා මේ මනුස්පයා කොච්චර නම් අමාරුවෙන්ද මෙච්චර කට ඇදෙනකම් හිනා වෙන්ට ඇත්තෙ කියලා.
(මෙහිදී මම මිණිපුර හටන යනුවෙන් පැහැදිලිව දැක්වූයේ මෙය මඩක් නොවන නිසා බව කරුණවෙන් සලකන්න

Sunday, October 2, 2011

පොඩි එවුන්ට පුරුදු කරමු සොබා බලන්න ........



අපි ඊයෙ කතා කරා පොඩි එවුන් කොහොමද සොබා සුමිතුරු කරන්නෙ කියලා.
අපිට පුළුවන් පරිසරේ නිරීක්ෂණය කරන්න ළමයින්ට කියල දෙන්න.
එතකොට ළමයි තුල ඇති වෙන අනවශ්‍ය බයවල් නැති වෙනවා.
මේක ළමයින්ට දෙන අනවශ්‍යය දේවල් වෙනුවට කාලය ගත කරන්න හොඳ විනෝදාංශයක් කරන්නත් පුළුවන්.
මොකද සමහර ළමයි පොඩි පොඩි සත්තුන්ටත් බයයි.
කොච්චර ලස්සන වුනත් සමනල්ලුන්ටත් බයයි.
ඒකට කියනව Lepidophobeia කියල ඉංගිරිසියෙන්.
ඒ වගේ ළමයි බිහිවෙන එක වලක්වන්න අපිට පුලුවන්.
මේ වගේ ගෙවත්තෙ ඉන්න දළඹුවෙක් කොහොමද කාගෙන කාගෙන යන්නෙ කියල පෙන්නන්න.
ඕන්නම් බත් කන්ට හොර ළමයෙක් ඉන්නව නම් කියන්න,
"පේනවද පුතේ මේ දළඹු පැංචා ඉක්මන්ට ඉක්මන්ට කන හැටී.
මෙයා ගොඩක් කෑම කාල ඉක්මනට ලස්සන සමනලයෙක් වෙනවා"
කියලා.
ඒත් ඉතින් පොඩි එකා පිළිගන්නෙ නැත්තන් පොඩි එකාට දළඹුවා සමනළයෙක් වෙන හැටි පෙන්නන්න.
එතකොට පොඩි එකාට ජීවන චක්‍ර ගැන ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න ඕනෙ නෑ අලුතින්.


මේ අපේ ගෙදර උගුරැස්ස පැලේ හැදුන කියන 
Common Leopard (Phalantha phlantha)
සමනලයගෙ දළඹුවෙක්.
මෙයා ලංකාවෙ සුළබ සමනලයෙක්.
ගෙදර පොඩි උගුරැස්ස පඳුරක් හදාගත්තොත් කෙලවරක් නැතුව එයි.
මෙන්න උදේ ඉදන් කාන්තාවො ටික බිත්තර දාන්ට පොරකාපු හැටි...
දැන් උගුරැස්ස බද්ධ පැලත් තියනවා, ඒවා ඉක්මනට පීදෙනවා ඇති.
ඒ වගේම අපි අගය කරන්න ඕන මේ වගේ වස විස නැති දේශීය පලතුරු.



ඇත්තට මේ දළඹුවෝ මෙච්චර වේගෙන් කන්නෙ ඉක්මන්ට ලොකු වෙන්න ඕන නිසා.
කාලා කාලා ශක්තිය ගබඩා කරගන්නවා කෝෂ අවස්ථාවෙදි පාවිච්චියට ගන්න.


ඒ මොකද මේ සත්තුන්ට තියන අනවශ්‍ය බිය වෙලාවකට හරි කරදරයක් වෙනවා සහ සතුන්ටත් හානියක් වෙනවා.
මම හොඳටම දන්න කෙනෙක් ඉන්නව එයා මකුළුවොන්ට ගොඩක් බයයි (Arachnophobia).
ඒ නිසා කාමරේට මකුළුවෙක් ආවොත් උගෙ පණ ගැන හිතන්නෙත් නැතුව කොස්සෙන් හරි මොකෙන් හරි තල්ලු කරලා ඒ සතාව එලවනවා. 

ඒකෙන් එයාට පවුත් සිද්ද වෙනවා අනවශ්‍ය කලබලත් ඇති වෙනවා.
අපි ළමයින්ට කියල දෙන්න ඕන සෑම ජීවිතයකටම නොමැරී ජීවත් වීමේ සමාන අයිතියක් තියනව කියලා.
මේ දේවල් මඟින් අපිට පුළුවන් සොබාසුමිතුරු, ක්‍රියාශීලී, හොඳ නිරීක්ෂණ හැකියාවක් තියන ළමයි බිහිකරන්න.

Friday, September 30, 2011

අරණකට පෙම් බැඳ



චින්තා ලක්‍ෂමී සිංහාරච්චි සහ විභූති භූෂණ ඛන්ද්‍යාපාද්‍යාය සහ යන සොඳුරු මිනිසුන් දෙදෙනා මා කිසිදා දැක නැත.
කතා කරවත් නැත,
එහෙත් මට ඔවුන්ගේ හදවත් තුල තිබුණ සුන්දරත්වය නොරහසකි.


මම කලක් පොත් ගුල්ලෙක් වී සිටියෙමි.
දැනුදු එහෙම එකෙකුදැයි නොදනිමි.
මක් නිසාද යත් මම දැන් වැඩිය පොත් නොකියවන බැවිනි.


මා කුඩා කල සිටම පරිසරයට බෙහෙවින් ආදරය කළෙමි.
මට රස විඳීමට ඝන වනාන්තරයක් හෝ දිය ඇලිවත් දං බෝවිටියා පිරි බෝවිටිවත් තිබුනේ නැත.
එහෙත් අපේ මහගෙදර පිටිපස්සෙ දොරගාවට වී කරාඹු ගහක කොලයක් මකුළු හුයක එල්ලී සුළඟට කැරකෙන අයුරු ආසාවෙන් බලාසිටි ඔලු පොඩ්ඩේ සුළි තුනක් තිබුණ දඟකාර කොලු පැටියා තවමත් මතකය.


ඒ දරුවා පරිසරය හොඳින් නිරීක්ෂණය කළ බව මට හොඳට මතකය.
ඔහුගේ පරිසර ප්‍රේමයට අම්මාගේ සෙනෙහසද ඉවහල් වන්නට ඇත.
කුඩාකල සිටම කියවීමට ප්‍රියකළ මා ඉහල වසර වල පෙළපොත් මෙන්ම පැරණි නිර්දේශයේ පෙළ පොත්ද වසර දෙක තුනකට කලින්ම කියෙව්වෙමි.
එසේ ඇරඹුණ පොත් කියවිල්ලේ අමතක නොවන ලියැවිලි කිහිපයක් දක්වමි.
සිංහල පෙළ පොතක වූ සියැටල්ගේ කතාව මම දෙනෙතට කඳුලු පුරාගෙන කියෙව්වෙමි.
ඒ පොතේම වු කුඩලිගමයන්ගේ සොහොන්බිම කවි පන්තියද මම බෙහෙවින් ප්‍රිය කරන එකකි.
සියැටල්ගේ කතාව මෙන් පරිසරය ගැන වූ අක්ෂර සමූහයක එකතුව සිත මායාවක පටලවමින් මතුරණ ලද සුන්දර පොතක් වූ ආරණ්‍යක් බෙංගාලි නවකතාවේ සිංහල අනුවාදය මෙසේ මගේ මතකයේ රැඳී ඇති පොතකි.


ඇත්තෙන්ම මට මිනිසුන් මෙතරම් පරිසරය ගැන සංවේදීවන්නේ කෙසේද තේරුම් නොයේ,
සියැටල් නිකන්ම නිකන් ගෝත්‍රිකයෙක් වුවත් ඔහුගේ චින්තනයේ තිබූ සොබාසුමිතුරු බව ඔහු ජැක්සන් කියන්නාවූ අමුතු බර බර වචනයෙන් සැබෑම "අනුහස් ලද" නායකයෙක් වන්නේය.
මක් නිසාද යත් මිනිසාටද සතුන්ටද ප්‍රථම ජීවන හුස්ම ලබාදෙන්නේ මේ පරිසරය වගත් ජනතා නායකයා එය රැකීමට කටයුතු කළ යුතු බවත් ඔහු තේරුම් ගත් හෙයිනි.
කෙසේ වෙතත් මම නැවත් පීල්ලට එමි.
මට මතක හැටියට මම මේ පොත කියෙව්වේ 8 වසරේ පමණ ඉගෙන ගනිද්දීය.
මා පොතක් ගතහොත් රෑ එළි වෙනකන් හෝ කියවා එය ඉවරකරමි.
ඉන් පසු එය මතක ගබඩාවේ පවතී.
මෙය කිසිදා කියවා එපා නොවන පොතක් වූ නිසාම මම එය කිහිප වතාවක්ම පුස්තකාල වලින් ගෙනවුත් කියෙව්වෙමි.
මුල් කතුවරයා වූ විභූති භූෂණ බෙංගාලි බසින් මැවූ ලෝකය චින්තා ලක්ෂ්මී මහත්මිය හෙල බසින් යළි අපේ මනසේ මැවුවාය.
මෙහි කතා පුවත තරුණ විශ්වවිද්‍යාල සිසුවෙක් නගරයෙන් පිටව ඉන්දියාවේ දුර බැහැර වනාන්ත්‍රබද පෙදෙසක ඉඩම් පාලකයෙක් වී යන අයුරුත්,
ඉන් පසු ඔහු වනාන්තරය මිනිසා සමග බැඳී ඇති හැටිද පරිසරයේ මායාකාරී සහ ගුප්ත බවද අත්විඳින අයුරුද,
අවසානයේ ඒ සුන්දර පරිසරය දියුණුවේ පහරට ලක්වන අයුරුද ඔහුගේ කෝණයෙන් විස්තර කරයි.
මා සිතනා හැටියට මෙය සොබා සුමිතුරෙක් කියවිය යුතු පොතකි.
මම අද නුවර ගිය විට මෙම පොත ඇතැයි සිතා ගුණසේන පොත්හලට ගිය විට එය තිබූ නිසා එය මිලදී ගතිමි.
මිල රුපියල් 297කි.
දැන් කවරය වෙනස්ය, හැකිනම් පුස්තකාලයක් හෝ පැරණි කවරය ඇති එක බලන්න,
(එයද මීට වඩා පොත මෙන්ම මනහරය.)

සාමාන්‍යයෙන් මට පොත් සල්ලි දී ගෙදර ගෙනවුත් කියවීමේ පුරුද්දක් නැත.
එහෙත් චින්තා  මහත්මියගේත් විභූති භූෂණගේත් සුසංයෝගයෙන් මැවුන පොත් හතරක් දැන් ගෙදර ඇත.
අපූ ත්‍රිත්වය ඒ පොත්ය.
මම ඒ පොත් වලටද වශීකෘත වී සිටියෙමි අම්මාද ඒවාට බෙහෙවින් ප්‍රිය කළ හෙයි අපි ඒ පොත් ගත්තෙමු.
ජාතික රූපවාහිනියේ ඒවා විකාශනය වූ විට මහ රෑ ඒවා නොනිමි ආසාවෙන් නැරඹූ අයුරු මට මතකය.
මේ පොත් තුනද ඕනෑම පොත් ගුල්ලෙකු කියවිය යුතු ඒවා යයි සිතමි.
කෙසේ වුවද කතාව නිම කිරීමට මම මුලට යමි.


චින්තා ලක්‍ෂමී සිංහාරච්චි සහ විභූති භූෂණ ඛන්ද්‍යාපාද්‍යාය 

යන දෙදෙනාම දැන් මියගොස්ය.
එහෙත් ඔවුන්ගේ සිතුවිලි තවමත් පොත් තුල ජීවත් වෙයි.
 මහත්මිය අඩු වයසින්ම මියගියේ පිළිකාවකිනි, ඇයගේ සේවයට අපේ රටේ බොහෝ විට වෙන පරිදි සම්මාන නොලැබුනි.
මම ඇගේ ගෙදර යාමට සිතුවේ කලකට පෙරය.
මේ යාවත්කාලීන වීමෙන්වත් එහි යන්නට සිතමි.
මේ ඇගේ විකි පිටුවය.
මට නිසි තොරතුරු සොයා මෙය සෑදීමට සිතේ, කැමති නම් ඔබට එය හැකිය. එය ලොකු සේවයකි.


විභූති භූෂණ ඛන්ද්‍යාපාද්‍යාය ගේ පොත් වලින් අපූ ත්‍රිත්වය සහ සහ තවත් පොත් සිනමාවට නැගුණි.
ඒවා ලෝක පූජිත සිනමාපට බවට පත්විය.
ඔහුගේ විකි පිටුව.
ආරණ්යක් පොතේ විකි පිටුව.
සොබාසුමිතුරෙක් වශයෙන් අපි ඒ සුන්දර මිනිසුන් දෙදෙනාට ආචාර කරමු.


තවද මෙයට පින්තූරයක් සෙවීමට අන්තර්ජාලය පිරික්සන විට හම්වූ වඩා සවිස්තර මේ බ්ලොගය බලන්න.

මෙම පොත සිනමාවට නැගුන බව කීවේ අත්වැරදීමකිනි.එය නිවැරදි කළ
උදාරට ස්තූතියි.

ඉඩකඩ ප්‍රයෝජනයට ගැනීම සහ කුඩා පරිසර පද්ධති...

Red Pierrot (Talicada nyseus)
 අපිට තියන්නෙ බොහොම පොඩි ඉඩමක්,
පොඩි කියන්නෙ පර්චස් 26ක්ද කොහෙද.
ගෙදර තඩියි.
අනික ඒක හදලා තියන විදිහ නිසා තවත් ඉඩමෙ ඉඩ අඩු වෙනවා ගස් හදන්න.
ඒත් මට ගස් හදන්නම ඕන.
මේක මට පොඩි කාලෙ ඉදලම තිබුණ ආසාවක්.
ඒත් ඉතින් ඒකට ඉඩක් හම්බුනේ අඩුවෙන්.
මොකද මට හිටවන්ට ඕන කැලෑවක් වගේ එකක්,
තඩි ගස් වවන්න මට ඕන,
ඒත් ඉතින් ගෙදරක ඔව්ව කරන්න බෑනෙ.
ඒ වගේම වෙලාවටම අපෙ ගෙදර ඉස්සරහිනුත් යනව කරන්ට් ලයින් එකක්,
ඉතින් දැන් මොකද කොරන්නෙ?
මම ඉතින් නොහිතා හිටියා.
අන්තිමට මට පොඩි අයිඩියා එකක් ආවා.
අපෙ ගෙදර තියන්නෙ පාර අයිනෙ පාරෙ ඉදලා අඩි 2ක් දෙක හමාරක් පහලින්.
ඉතිං ඇල්ලක් වගේ එකක් තියනවා එතන.
ඒ ඇල්ලෙ තියනවා වැටක්.
මට හිතුනා ඉඩ නැති මට මේකෙ ගස් හැදුවා නම් හරි කියලා.
මං ඒ පුංචි පරිසර පද්ධතියෙත් ආසාකරන දේවල් තිබුනා, මීවන ගස්, පනම් පෙත් හැදුන පුංචි ගස්.
ඉතිං මම පටන් ගත්තා මෙතන ගස් හදන්න,
ඒත් මේක සරු භූමියක් නෙවේ, වහින කාලෙට නම් පණ ගහනව ඒත්.
කමක් නෑ.
ඇල්ල
ඔන්න මං ගස් ටිකක් හැදුවා මේකෙ,
අත්තම්මලගේ ගෙදර යනගමන් ගම මැද්දෙන් වැටුන අඩි පාරේ, තිබුනා ලස්සන චූටි ගෙඩියක් හැදුන ගහක්.
මේවාගේ ටයිප් එක ගෙඩි වලට කඩ්ඩෙන් කියන්නෙ කියලා.
ඒක ගෙනත් පැල කරා.
ඒකෙන් ලැබුන පැලේ හිටෙව්වා වැටේ,
ඒක දොඩම්පනා (Glycomis pentaphylla) ගහක්.

ඊට පස්සෙ දවසක් ඉස්කෝලෙ ගියා ඉස්කෝලේ තියනව ලස්සන පරන ගස් දෙකක්,
මේව යකිනාරං විශේෂයක් (Atlantia sp),
ඒකෙ පෙනුම හරිම ලස්සනයි.
ඒකෙනුත් ඇටයක් ගෙනාවා, ඒකත් පැලවුනා,
ඒකත් ඇල්ලෙ හැදුවා,
මේවට කලින් මයෙ හිතේ මම වැටේ හිටෙව්වා කොබෝලීල ගහක් (Bauhinia variegata),
තව කොබෝලීල වල සහෝදරයා කහ පෙතන්(Bauhinia tomentosa) .
ඒ වගේම අත්තික්කා,
අත්තික්කා (Ficus racemosa) නම් ගෙනාවේ සමනළුන්ට,
Crow කෙනෙක්
මේකෙ බිත්තර දානවා Crows කියන සමනල්ලු.
කහ පෙතං සහ අත්තික්කා


ඔන්න අද මම මේකට ෆොටෝගන්න ගියාම දැක්කා යකිනාරං ගහෙත් සමනල් දළඹුවෝ,
මුං Papilionidae කුලයේ එවුන් ,
ඒ කියන්නෙ ලංකාවේ ලොකුම සමනල්ලු අයිති කුලය.
මුංගේ තියනව පොඩි පරිසරයට අනුගත වෙලා හැංගීමක් (= Camouflage) ආරක්ෂාවට.
ඒ තමා පොඩි කාලේ කුරුලු වසුරු (Bird Droppings) වගේ පේන එක,
ඒ නිසා සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.


ඉතින් මට ඔයාලට පොඩි පාඩමක් දෙන්න තමා අවශ්‍යය වුනේ,
ඔන්න අහගන්න.

පරිසර පද්ධතියක් කියන්නෙ මොකද්ද?
ජීවී ඒ කියන්නෙ ශාක සතුන් සහ අජීවී පරිසරය අතර අන්තර්ක්‍රියා සිදුවන් ක්‍රියාකාරි ඒකකයක්.
පරිසරේක වැදගත්ම අජීවී කොටස් තමා පස් සහ වාතය.
ගහක් පසට සම්බන්ධ වෙලා වැඩෙනවා කියන්නෙත් අන්තර්ක්‍රියාවක් තමා.
අපි හැමෝම කියන ජෛව විවිධත්වයේ එක කොටසක් තමා මේ කියන පරිසර පද්ධති වල විවිධත්වය.
හැම තැනකම පරිසර පද්ධති තියනවා,
මල් පෝච්චියක් අරගත්තත් ඒකට් පරිසර පද්ධතියක්.
මිනිසා හදපු මහා ලොකු බිල්ඩිමක් වුනත් පස්සෙ පරිසර පද්ධතියක් වෙනවා.
පස් ටිකක් කපලා වෙන තැනකට පිරෙව්වොත් බලන්න ඒතැන් වල පරිසර පද්ධති බිහි වෙන හැටි,
පොඩි පොඩි පැලෑටි, වල්ගස්, කූඹි ගුල් ඒ තැන් වල ඇති වෙනවා.
ඒක ක්‍රියාකාරි පරිසර පද්ධතියක් වෙනවා.

ඉතින් අපිට පුළුවන් අපේ ගෙදර වත්තෙ ජෛව විවිධත්වය වැඩි කරන්න.
මේක හරිම වටින දෙයක්.
අපිට පුළුවන් හැමෝම ගනන් ගන්නෙ නැති එච්චර වැදගත් වගේ නොපෙන ගස් ටිකක් මෙහෙම ආරක්ෂා කරගන්න.
තව කියන්න අමතක වුන ගහක් තියනවා මේක අපෙ ගෙදර මල්පෝච්චියක ඉබේ පැලවුන එකක්,
ඒත් මට එකත් වටිනවා ඒක හරිම ලස්සනයි,
රතුපාට බූවක් තියනව.
මේකත් මම වැටේ හැදුවා.
නම නොදන්න ගහ

නම නොදන්න ගහ
හා තව තියනව මේක ගස් ටිකක් පුංචිලා දිහායින් ගෙනාපු පොඩි දෙහි වගේ ගස් ජාතියක්.
මෙකේ නම හරියට දන්නෙ නෑ ඒත් දේශීයයි.
තව Red Pierrot (Talicada nyseus) කියන ලස්සන සමනලයෙක් බිත්තර දාන අක්කපාන පැලයක් (Kalanchoe pinnata).
තව හීරැස්ස වැලක් (Cissus quadrangularis).

අක්කපාන 
අපි සොබාසුමිතුරෝ වශයෙන් දැනගන්න ඕන මේ පරිසර ගොඩක් වටිනා දෙයක් කියලා,
අපෙ අම්මා වගේ අපිට පණ දුන්නෙ මේ පරිසරය.
ඒ නිසා අවශ්‍යයම නැත්තං පරිසරයට බලපෑම් කරන එකෙන් වලකින්න.
කරදරම නම් විතරක් ගහක අත්තක් ගලවලා දාන්න,
වැඩක් නැති වල් පැලෑටිය ගලවලා දාන්න.
මොකද අපි ඒ ගලවන ගහ, කපන අත්ත අපිට නොපෙනුනාට එතන පරිසර පද්ධතියේ වැදගත් කොටසක් වෙන්න පුළුවන්.
ඒ වගේම ඒක ගොඩක් සතුන්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.



තව එකක්,
මේ සමනලයා වහල ඉන්න මලත් වල් මලක්,
සුදු බලු නකුට (Stachytarpheta sp)
බලු නකුට හදපුවම සමනල්ලු ගොඩක් එනව,
එකක් හිටවල බලන්න, වැඩි ඉඩක් යන්නෙත් නෑනෙ.







Thursday, September 29, 2011

කරවල කැබිල්ල ගහ......


සොබාසුමිතුරා දැන් මහළු වයසේ පසු වෙයි.
වත්තේ වූ පුංචි කඳු ගැටය මත වසර 15කට විස්සකට පෙර සිටවූ කරවලකැබිල්ල ගස දැන් ලොකු ගසකි.
එහි සෙවන යට වූ ඔහුම සදාගත් පුටුවේ හිඳගෙන සැහැල්ලු කපු ඇඳුමින් සැරසී නිවීහැනහිල්ලේ සිය අතීතය සිහි කරන්නට වන්නේය.
වියපත් නොවූ මිහිරාවිය, ඔහුගේ ගිටාරය පැත්තක්කින් පුටුවට හේත්තු වී සිටියාය.




ඔහු ඒ වන විට විශ්වවිද්‍යාලයට යන්නට සිටින තරුණ කොල්ලෙකි.
ඔහු ඉතාම සතුටින් සිටි දින කිහිපයක් ඔහුට සිහිපත් විය.
මහළු වූ ඇස්වල පෙනීම අඩු වූවද,
ඒ දවසේ පේරාදෙනිය මල් වත්තේ තණ බිස්ස මත වාඩිවී
සිය සගයන් සමඟ එක්ව සාකඡ්චා කරන අතරතුර මිතුරෙක්ගේ පුවත් පතක වු දෙයක් ඇස් ඉදිරිපිට පැහැදිළිව මැවෙන්නට විය...
"පොළොන්නරුවේ ගොවියෝ පිරිසක් ආණ්ඩුවේ පොහොර සහනාධාරය එපා කියයි,
ඔවුන් කියන්නෙ ඔවුන්ට කාබනික පොහොර පමණක් සිය ගොවිතැනට  ඇති බවයි"


එදින ඔහුගේ දවස සතුටින් පිරුනු හැටි ඔහුට මතක් විය.
නිල්වන් ආකාසය යට නිල් තණ පලසේ වැතිර අහස බැලූ ඔහුට පියඹා යන සියොතුන් පෙනෙන්නට විය.


ඉන් පසු ඔහු කෙමෙන් කෙමෙන් වත්මන වෙත සිය මතකය ඔස්සේ හිත ගෙන එන්නට විය.
තමා කල සොබාසුමිතුරු ක්‍රියා සිහිපත් වෙන විට ඔහුගේ සිත පුළිඟුවක් මෙන් දිදුලන්නට විය.
එයින් එක් දවසක් පාසලේ ගස් සිටවූ දවසය.
ඩෙනිමකින් උතු පිළිවලට ඇඳි ඇඳුමේ සපත්තු දෙක ඉවත් කළ ඔහු උදැල්ල ගෙන ගිනි අවුවේ පැල සිටවූ හැටි කෙතරම් තෘප්තිකරද.




ඉන් පසුද ඔහු නොයෙකුත් සොබාසුමිතුරු දෑ කරගෙන ගිය අතර ඒවා බොහෝ සාර්ථක විය.
ඔහු හා සමකාලීනයෝ එක්ව ඇති කළ මානසික විප්ලවයේ පුරෝගාමියෙක් වූ ඔහු සිය කාර්යබහුල දිවියේ සොබාව වෙනුවෙන් කළ දෑ සිහි කර සිහින් මඳහසක් මුව ඇඳගත්තේය.


ඉන් පසු ලංකාව බෙහෙවින් වෙනස් රටක් වෙන්නට පටන් ගති,
මිනිස්සු ටිකෙන් ටික හැමදාම දේශපාලකයන්ට, වෙනත් වෙනත් ප්‍රෝඩා වල්ට රැවටී සිටීමෙන් මිදෙන්නට උත්සාහ කරන්නට පටන් ගත්හ.
මේ විප්ලවය පාරිසරික විප්ලවයක් බවටද පත් විය.


ජනතාවට රටෙ වූ පරිසරික අර්බුද වැටහෙන්නට පටන් ගත්තේය.
ඔවුන් වඩා සොබාසුමිතුරු දෙය කුමද, එයම සොයා යන්නට පුරුදු වූහ,
ධනවත් සමාගම් වලට පවා පොදු ජනතාවගේ මේ හිස එසවුමටප්‍රතිරෝධයක් දැක්වීමෙන් පැරදුනහ.
ඔවුන්ටද ජනතාව ඉල්ලූ පරිදිම ජෛව හායනයට ලක්වෙන පොලිතීන් ප්ලාස්ටික් වල ඇසුරූ භාණ්ඩ විකුනන්නට සිදු විය.
මිනිසුන් දේශපාලකයන්ද සොබා සුමිතුරන් කිරීමට ගත් උත්සාහයෙන්,
ඔවුන්ද හැමදා මිනිසුන් රවට්ටනවාට අමතරව ඡන්ද කාලයට පරිසරය වනසමින් කළ ඡන්ද ව්‍යාපාර නවතා දැමූහ.
මක් නිසාද යත් මිනිසුන් ඔවුන්ගේ රැවටිල්ලට අමතරව කරන පරිසර හානියද වටහාගත් හෙයිනි.
මේ නිසාම සමහර කපටි දෙස්පලුවෝ ඡන්ද ප්‍රතිපත්ති වල අන්තර්ගතය සොබා සුඉතුරු සංකල්ප වලින් පුරවන්නට විය.
එහෙත් පසුව ඔවුන් බොරු කරන බව වැටහුන විට මිනිසුන් ඔවුන් බලයෙන් පහ කළ අතර බොරුකාරයන්ට කිසිදාක සමාවක් නොලැබුණි.
මේ අයුරින් මිනිසුන් පරිසරය ගැන වදවීමෙන් ඇරඹුන
සොබා සුමිතුරු විප්ලවය සෑම ක්ෂේත්‍රයකම පැතිරුන අතර බහුතර මතය ඉදිරියේ සිරිලක සියළු බලපුළුවන්කාරයෝ දණ නැමූ අතර බලය තැලෙන්නට පටන් ගත්තේ සිංහරාජ පාර උඩදීය.

මෙසේ සිතමින් කල් ගතකළ වියපත් සොබාසුමිතුරා පුටුවෙන් බිමට බැස නිල් තණපත් පලස මත් වැතිර අතීතයේ සිටි තරුණයා කළාක් මෙන් සුව නින්දක් නිදන්නට විය.
හිරු රැස ඔහුව උණුසුම් කළ අතර ඔහුම සෑදූ වනගොමුව සිහිල් සුළඟ සමඟ පුංචි සංගීතකරුවන්ගේ නැලවිල්ල ඔහුගේ සවනත මත පතිත කළාය.
දෙනෙත් පියන් පත් මත සෞම්‍යය ආලෝකයක් පැතිරෙන්නට වන්නේය.
කරවලකැබිල්ල ගසෙන් ඉදුණු පතක් බිම වැටුණි.