Friday, January 20, 2012

...තේරුමක් තේරුම් ගන්න...

ළා නිල් පාටින් අඳුරු කළ බසයේ පිටුපස වීදුරුවෙන් ඈතින් වූ හන්තාන කඳුවැටිය පෙනෙයි,
A-9 මාර්ගයේ වූ ඝාතන දාමයෙන් බේරුන මාර ගස් පාරට ඉහලූ කුඩ වැනිය,
වාතලය පාළුය ඉහලින් වූ අහස ඈතට දිවෙයි,
වාහන ද වීදුරුවට උඩින් ඇති බට ද ලයිට් සහ ටෙලිපෝන් කම්බි ද මේ දසුනට බාධා කරයි.
මම හිටගෙන පාර දෙස බලා සිටිමි,
බසයේ පිටුපස වම් කොනේ කෙසඟ මිනිසෙකි,
ඔහු කළුයඔහුගේ ඔඩොක්කුවේ ලොකු ට්‍රැවලින් බෑගයකිඔහු ළඟ තව මල්ලක් ද වේ,
මේ සියල්ලට උඩින් වූ ඔහුගේ රළු අතැඟිලි ජංගම දුකෙහි යතුරු ඔබයි,
මම ජනේලයෙන් එළිය බලමි,
මා පිඟා ඔය පෙනේ මිනිස්සු බළළුන් වසුරු සඟවන්නාක් මෙන් සැඟවූ කුණු ද මාණා ද පසු කරමි මගේ දාර්ශන පථය ඉදිරියට යයි,
දොරෙන් පාර බැලූ විට මහ පාර ද පසු පස්සට දුවයි,
මම තවම ඉදිරියට යමි,
අර මිනිසා ජංගමයෙන් කාට දෝ කතා කරයි,
මිනිසා විසින් දූෂණය කළ පිඟා ඔයේ වූ උණ බම්බු පාලම් ළඟ එකතු වූ කුණු ගොඩවල් කොතරම් කැත ද?
අනේ මේ පරිසරය කොච්චර ලස්සනට තියෙන්න ඇත්ද ඉස්සර?

අයියාගේ යාළුවෙක් බස් එකට නැංගේය,
ඔහු ලස්සන කොල්ලෙකි,
හිත හොඳය ඒත් මත් වතුර දුම් ඔහුගේ ජීවිතය වෙනස් කර ඇත,
ඔහුගේ ගමේ වූ පණුවා ව ද මට මතක් විය,
පණුව මගේ කුඩා කළ මිතුරෙකි,
අනුරාධ නම් වූ ඔහුගේ නම පණුරාධ ද පසුව පණුවා බවටද පත් වුනේ මාගේ දක්ෂතාවෙනි,
ඔහුද ඉහත කී ලෙසම විනාස විය,
දැන් ඔහු කොහේදැයි ඔහු සමඟ එකට සිගරට් බිවු අයියාගේ යාළුවා ද නොදනී,
මට මහත් දුකක් උපදී,
"මචං මේ ෂර්ට් එක ලස්සනයි"
"උඹට ඕන දමං දෙන්නම්"
සති කිහිපයකට පසු වුව ඔහුගේ ගෙදර ගිය විට පිළිවලට නවා තිබූ ෂර්ට් එක මට ලැබෙයි,
"මං ආය ඇන්දෙ නෑ ඒකඋඹට දෙන්න ඕනනේ" 
මා ඉස්කෝලෙන් අස් වී ගිය පසු ඒ ඉස්කෝලේ මිතුරන් අතුරින් බේබද්දන් නොවී බේරුණේ දික්කුවා පමණි.
අද බස් හෝල්ට් එක දුටු දිනේෂ් ද බොනයෙක් වූ බව මා අසා ඇත්තෙමි,
ඔහුට මා හඳුනා ගත නොහැකි විය,
මමද ඔහුට කතා නොකළෙමි.
පණුවා ද දිනේෂ් ද ඉතා අහිංසක එවුන්ව සිටි කලක් තිබිණි,
අද ඔවුන් වෙනස් වී ඇත.
නාට්ටාද යම් කලක ඒ ඉස්කෝලයෙන් අස්වී උසස් පෙළ සමත්ව E-ෆැක් එකට විත් සිටී.

මම අත්තම්මා බැලීමට ගොස් ගෙදර එමින් සිටිමි,
ඇය දැන් වියපත්ය,
ඇයට මා කුමක් කරන්නේ දැයි එක්වරම මතකයට නො එයි,
යළිත් ඒමට පෙර ඇයව වැළඳ ගත් විට ඇයට එය මතක් වී තිබිණි,
එයද අප ඇයට කී නිසාය,
ඇය හඬයි, "මං මැරෙන්න කලින්  බෙහෙත් ටිකක්...."
මම ඊට කලින් වෙදෙක් වෙයි ද නොදනිමි,
මට කුඩා කළ සිහිවෙයි,
අත්තම්මා වැඩියෙන්ම ආදරේ කළ මුනුබුරා මම වෙමි, ඒ ඇයට පුළුවන් කාලේ ඈ සමග වැඩුන අන්තිම මුනුබුරා මා නිසාය,
මා කුඩා කාලේ ඈ සමග සිටි හැටිත්,
ඊට ලොකු කාලයේ මා ඉස්කෝලේ ඇරී එන විට ඈ මට කෑම දුන් හැටිත්,
මා අත්තම්ම ළඟ නිදා ගත් හැටිත් මට සිහිවෙයි,
තවම නැගිට තමන්ගේ වැඩ තනියම කරගත්ත ද ඈ දැන් වයසය,
මා ඇය අතැර ආවෙමි,
මගේ පාසල් කාලයෙන් එක් පරිච්ඡේදයක් ගෙවී ගියේ මෙහිය,
ඉස්කෝලේ ඇරී කොකා සහ සහන් සමග පයින් ආ හැටි,
පසුව කොකා මගේ හොඳ මිතුරෙක් වූ හැටි,
ඒ ගමේ තිබූ කන්දට නැග්ග හැටි,
එහිදී ලොකු ගිරවෙක් හම්බුන හැටි,
(මේ ගිරවා මගේ ද කොකා ගේද අත හැපූ අතර කොකාගේ පළපුරුද්ද නිසා ඌ නතර වුනේ කොකාගේ ගෙදරය)
මාළු ඇල්ලූ හැටි,
පැනි පෙරූ හැටි,
කොකාගේ පැනි උපදෙස්
අයියෝ කොයිතරම් විකාර ද?
මතක් වෙනකොට හිනා යයි,
ලිටරේචර් පන්තිය කියල වැඩක් නැත,
කොකාගේ තාත්තා මිය ගොස් ඇත මම එය දන්නේ බොහෝ කලකට පසුය,
ඒ මං දැන් ඒ පැත්තේ නොයන නිසාය,
කොකා ද බේබද්දෙක් නොවී බේරුනි,
මට ඔහු ගැන සතුටුය හොඳට ඉගෙන නොගත්තත් ඒ දේවල් වලට ඇබ්බැහි නොවූවෙකි ඔහු.
මම අත්තම්මා බලා එක් බසයක ඇවිත් අනිකට නැගීමට බස් හෝල්ට් එක දෙසට යමි.
මට ඉස්සර මතක් විය,
උදෑසන ද සන්ධ්‍යාව ද ඉතා සුන්දරය,
ඉර අහස වර්ණවත් කරයි,
උදේට ඉර ගිනි බෝලයක් ලෙස හුන්නස්ගිරිය ලඟ දිළෙයි.
බසය දිගටම ගමන් කරයි,කෙසඟ මිනිසා බැස යයි,
අයියාගේ යාළුවා බැස ගියේ ඊට කලින්ය,
මම දිගටම යමි.
පිඟා ඔය මිනිසා විසින් දූෂණය කර ඇති අයූරු තවත් හොඳට පෙනේ,
කුණු ඇති වතුර ගලන එය බෙහෙවින් නොගැඹුරුය,
අතීතයේ මේ හරියේ ද යක් එරබඳු මල් පිරි සුන්දර පෙදෙසක් වෙන්නට ඇත,
තවමත් පිඟා ඔය බේරා ගත හැක,
එහෙත් ඒ ගැන වද වෙන්නේ කවුද?
එහෙත් අද...

මම ගමනාන්තයට ළංවී සිටිමි,
පන්සලට හැරෙන තැන ගෙදර බල්ලෙක් ගැට ගසා සිටී,
ඌ දුක්ඛිත ලෙස බලා සිටී,
මිනිසා ද දම්වැලෙන් ගැට ගැසූ බල්ලෙක් මෙනි,
එක එක තැන් වලට ගොස් නැවත එයි,
එහෙට යයි මෙහෙට යයි,
එහෙත් කණුවෙන් මිදීමක් නැත,
බල්ලා අසල වූ සේපාලිකා ගසේ මල් නැත,
මම පාපූරුවට බැස බෙල් එක ගැසීමී,

අත්තම්මාගේ උඩම පින්තූරය ගත් මගේ ඥාතිසොයුරු ශංකර් වර්මාට මගේ ස්තූතිය.
-----------------------------------------------------------------

Heavenly Shades of Night are Falling as day is done....
මා මේ ගීතය ගැන වැඩිය දන්නේ නැත,
මෙයද ඇසූ වනම මා සිත් ගත් ගීතයකි,
පළමුව ඇසුවේ  X-ෆයිල්ස් එපිසෝඩ් එකකිනි,
එහි ඇත්තේ ඒ.අයි ගැනය,
මේ ගීතයේ හොඳින් ගැබ්ව ඇති ආදරය සහ ගොම්මන් කාලය ගැන හැඟීම ඒ කතාවට හොඳින් ගැලපේ,
ගීතය වොයිස් හාමනි වලින් ලස්සනට හැඩ වී ඇත ගායකයා ද ඉතා හැඟීම්බරව ගයයි.
එය ෆැන්ටසියක් වුවද මා ඒ එපිසෝඩයට තවමත් කැමති වීමට හේතුව මේ ගීතය වන්නට බැරි නැත,
මේ ගීතයට ඇති  කැමැත්ත කොතෙක් ද යත් මා බ්‍රෝඩ් බෑන්ඩ් ගත්තු අළුතම අන්තර්ජාලයෙන් සෙවූ ගීත අතර මෙය ඇත,

මෙය ඇමරිකානු ගීතයකි,
50-60 දශක වල එකක් වන්නට ඇත,
මම එය හරියට දන්නේ නැත,
දන්නේ "Twilight Time - Platters" කියා පමණි,
කෙසේ වුව ද සිංදුව සහ වචන ලස්සන නිසා මා මේ ගීතයට හරිම කැමතිය,
ඔබත අසා බලන්න,
Heavenly shades of night are falling
It's twilight time
Out of the mist your voice is calling
It's twilight time
When purple colored curtains
Mark the end of the day
I hear you my dear at twilight time

Deepening shadows gather splendor
As day is done
Fingers of night will soon surrender
The setting sun
I count the moments darling
Till you're here with me
Together at last at twilight time

Here in the after-glow of day
We keep our rendez-vous beneath the blue
Here in the sweet and same old way
I fall in love again as I did then

Deep in the dark your kiss will thrill me
Like days of old
Lighting the spark of love that fills me
With dreams untold
Each day I pray for evening just
To be with you
Together at last at twilight time
Together at last at twilight time
ගෝඩෝනියා සිලැනිකාගේ වැඩක්... gloriosa90@gmail.com

20 comments:

  1. ලස්‌සන අදහස්‌ ටිකක්‌ එකට එකතුවෙලා අද මල්ලිගෙ ලිපියෙ..

    මට ගම්පෙරලිය නව කතාව මතක්‌ වුණා.ඔයා ඒ දැකපු "සංකේත" වලින් යම් දෙයක්‌ අපිට කියනව.

    මිනිස්‌සු බීලා බලාපොරොත්තු වෙන්නෙ මොකක්‌ද කියලා නම් හිතාගන්ට බැහැ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු බීලා බලාපොරොත්තු වෙන්නෙ ආශ්වාදයක් අයිය :)
      ස්තූතියි...

      Delete
  2. තෙරෙන වෙනසක් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජෝන් මාමෙ :)

      Delete
  3. හිතට සංවේගයක් සමගම අතීතයත් වර්ථමානයත් අතර සිත දෝලනය උනා. හැඟීම්බර අදහස් හැමදාමත් ලියනව වගේ.
    අත්තම්මා ආසාවෙන් ඇති නේද චූටි දොස්තර මුණුපුරාගෙන් බේත් ටිකක් ගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා හැමදාම කියනව වගේ :)
      ගන්න නම් ආස ඇති,
      ඒත් ඉතින් කවුද දන්නෙ අපි දෙන්නම ඒ වැඩේට ගැලපෙන විදියට ඉදීද කියල ???

      Delete
  4. අපූරු කරුණු ටිකක් එකට ගලපලා තියෙනවා
    මේක කියෙව්වට පස්සේ මහ අමුතු හැඟීමක් දැනුණා, හරියට හිස් බවක් වගේ

    ReplyDelete
    Replies
    1. මමත් ලියපු වෙනස් දෙයක්,
      මට පෙරේදා බස් එකේ එනකොට හිතුන එක තම එදාම ලීවේ,
      ස්තූතියි අයියේ :)

      Delete
  5. "මේක කියෙව්වට පස්සේ මහ අමුතු හැඟීමක් දැනුණා, හරියට හිස් බවක් වගේ"

    මටත් ඒ වගේ..

    මගේ පාසැල් මිතුරන්ගෙන් නොබෝන්නන් මම දන්නේ දෙදෙනයි. එක් අයෙක් මුස්ලිම් ජාතිකයෙක්. ආගමික ඉගැන්වීම් නිසා ඔහු බොන්නේ නෑ.ඒත් සිංහල බෞද්ධ අති බහුතරය බොනවා.

    ප.ලි. අර සලබයාගේ පින්තුර අද එවන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉඳුනිල් අයියා,
      ඔව් ඒක ඇත්ත දැන් තරුණයන් ගොඩක් මේ දේවල් වලට ඇබ්බැහි වෙනවා,
      එහෙමත් ටිකක් ඉන්නෙ නොබොන :)
      වැඩේ හරි ද?

      Delete
    2. වැඩේ හරි.ඊයකුත් එවුවා.

      Delete
  6. හරිම සන්වෙදී කමක් දැනුන ..ලස්සනයි ඔක්කොම .එත් ඇයි අකුරු ගොඩක් ලොකු. ඔයාගේ අදහස් හරිම සංවේදීයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පුංචි කුමාරිහාමි,
      අකුරු පොඩි කරා,
      ගැජට් එකක් දාන්න වෙලාව නෑ,
      එහෙම එව්වා තියනව :)
      සමහරු පොඩියි කියනව,
      සමහරු ලොකුයි කියනව,
      අනේ මංදා :)

      Delete
  7. නිතරම බීමතින් සිටින.තම ජීවිතයේ වැදගත්ම කටයුත්ත මත්පැන් බීම යයි සිතන කෙනෙකු හැදින්වීමට බේබද්දා යන වදන සමාජයේ භාවිතා වේ.ඔබේ මිතුරන් එවන් තත්වයකට පත්වී ඇති අයද?.මත්පැන් බී පමණින් මිනිසෙකු විනාශ වන්නේ නැත.විනාශය සිදුවන්නේ ඔහු මත්පැනේ වහලෙකු වුවහොතිනි.මා මත්පැන් බොන්නෙකි නමුත් මා බොන්නේ මා හටම පනවාගත් නීති රීති වලට යටත්වය.මා බොන්නේ සතියකට වරකි.එයද සිනමා නිර්මාණයක් අවසානය දක්වාම රසවිදීමේ හැකියාව ඇති තරමට සිහිකල්පනාව තබා ගනිමිනි.මා දන්නා තරමට මත්පැන් නිසා මටනම් දැනෙන හානියක් සිදුවී නොමැත.

    ReplyDelete
  8. @AnonymousJan 22, 2012 12:33 AM : සියළු හානි දැනී දැනී සිදු නොවේ. අපේ ජීවිත වලට හානි ගෙන දෙන එකම දේ මත්පැන් පමණක්ම ද නොවේ.

    ReplyDelete
  9. අහෝ කියන්න අමතක වුනා,
    ඔබතුමාට ගොඩක් ස්තූතියි :)

    ReplyDelete
  10. ඔබ හරි මම නිවැරදියි ඇනෝ දෙක :)
    ස්තූතියි ඔබේ අදහසට ...

    ReplyDelete
  11. ස්තූතියි මාමේ,
    පමාවෙලා ආවත් අදහස් ලියල ගියාට ස්තූතියි,
    නෑයො ආවද?

    ReplyDelete
  12. ගොඩක් කාලෙකට පස්සේ ඔයාගේ බ්ලොග් එක බැලුවා..ලස්සනයි!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රේම් කාලෙකට පස්සෙ ඇවිත් වැඩ අස්සෙ බ්ලොග් එක කියෙව්වට.

      Delete